යෝගා ව්‍යායාම : ප්‍රවේශමෙන් නොකළොත් "තුනටියට අවදානමක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කැරොලයින් පර්කින්සන්
- Role, BBC News website
යෝගා ව්‍යායාමවලට පවතින ජනප්‍රියත්වය අඩු වන බවක් නම් දක්නට නැත.
ශාරීරික නම්‍යශීලීතාවයට සහ සංතුලිතතාවට ලැබෙන ප්‍රතිලාභ මෙන්න අධ්‍යාත්මය හා පවතින බැඳීම හේතු කොට ගෙන ලොව පුරා මිලියන ගණනක් වූ ජනතාවක් යෝගා ව්‍යායාම පුහුණු වෙති.
මේ නිසා යෝගා ගුරුවරුන්ගේ අවශ්‍යතාව තව තවත් ඉහළ යනු ඇත.
නමුත්, යෝගා ගුරුවර ගුරුවරියන්ගේ තුනටියේ සනීපාරක්ෂාවට අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබේ.
තුනටියේ බරපතළ ආබාධ සහිත යෝගා ගුරුවර ගුරුවරියන් ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවක් තමන්ට දක්නට ලැබෙතැයි එක්සත් රාජධානියේ භෞතචිකිත්සක බිනෝයි මැතිව්ස් අනතුරු අඟවයි.
ඉන් බොහෝ දෙනෙකුට ශල්‍යකර්ම සිදු කිරීමට සිදු වී ඇති බවද ඔහු පැවසීය.
අපහසු ඉරියව් ප්‍රගුණ කිරීම සඳහා උවමනාවට වඩා වෙහෙස දැරීම ඊට හේතුව විය හැකි බව භෞතචිකිත්සක බිනෝයි මැතිව්ස් ගේ අදහසයි.

ඡායාරූප මූලාශ්‍රය, Benoy Matthews
මොහු දණහිස සහ තුනටිය සම්බන්ධ විශේෂඥ භෞතචිකිත්සකවරයෙකි. දළ වශයෙන්, මසකට යෝගා ගුරුවර ගුරුවරියන් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා පැමිණෙන බව ඔහු පැවසීය.
තම සිරුර කෙතරම් ප්‍රතික්ෂේප කරන නමුත් "නියමිත" ඉරියව් කරා යාමට නොකඩවා දරන උත්සාහය මීට හේතුව බව භෞතචිකිත්සක මැතිව්ස් පවසයි.
අස්ථි පද්ධතියේ සන්ධි වෙත අනවශ්‍ය පීඩනයක් ඇති නොවන අයුරින් "නියමිත" ඉරියව්වලට සීමා පනවා ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව ඔහුගේ අදහසය. තමන් වෙත පැමිණෙන යෝගා ගුරුවරුන්ගෙන් අඩකට එවැනි උපදෙස් පමණක් ප්‍රමාණවත් වූ බව හෙතෙම පැවසීය.
නමුත් වඩා බරපතළ වූ අසනීප සඳහා ශල්‍යකර්ම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු විය. ඇතැම් විට අලුතෙන් ම උකුළු අස්ථි බද්ධ කිරීමට ද සිදු වී තිබේ.
"වේදනාව සහ දැඩි බවක් දැනීම අතර වෙනස සමහර උදවියට වටහා ගන්න බැහැ. ඉකිළිය ප්‍රදේශයේ හිරවීමක් හෝ තදවීමක් දැනෙනවානම් එය නොසළකා හරින්න හොඳ නැහැ. ඔබ ඔබේ සීමාවන් වටහා ගත යුතුයි." භෞතචිකිත්සක මැතිව්ස් ප්‍රකාශ කළේය.
වසර 22ක් භෞතචිකිත්සකවරයෙකු ලෙස කටයුතු කරන ඔහු පසුගිය අටවසර තුළ දණහිස සහ තුනටිය පිළිබඳව විශේෂඥයෙකු වශයෙන් කටයුතු කරයි.
යෝගා ගුරුවරුන් තම ඉරියව් පුහුණු කිරීමේදී යම් තදවීමක් හෝ හිරවීමක් දැනේ නම් එම සීමාවෙන් ඔබ්බට නොයා යුතු බව ඔහුගේ උපදෙස ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"යෝගා ව්‍යායාමවලින් කෙතරම් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙනවද කියල අපි හැම දෙනාම දන්නවා. මමත් යෝගා ව්‍යායාම කරන කෙනෙක්. නමුත් අනෙක් හැම දෙයක්ම වගේ මේ දෙයිනුත් අනතුරු ඇතිවිය හැකියි. එය නොසළකා හැරීම හොඳ නැහැ."
"යෝගා ප්‍රතික්‍ෂේප කරන්න මට අවශ්‍යතාවක් නැහැ. ඒක වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. ඒත් ඔබ තමන් ගැන තේරුම් ගත යුතුයි."
යම් කෙනෙකුගේ ඉඟටිය සැකසී ඇති ආකාරය සහ එය කෙතරම් නම්‍යශීලී ද යන කාරනා මත මෙය රඳා පවතින බව ඔහු පැවසීය.
සීමාව
"කෙනෙකුට කළ හැකි දෙයක් තවත් කෙනෙකුට කළ නොහැකි දෙයක් විය හැකියි. තමන්ට හැකි පමණ පිළිබඳව නොසිතා හැම දෙනාම එකම ඉරියව් පෙළ කරන්නට පෙළඹෙනවා."
"තමන්ට පහසුවෙන් කළ හැකි සීමාවේ දී නැවැත්විය යුතුයි."
"තමන් ළඟ සිටින අනෙක් පුද්ගලයාට "නියමිත" ඉරියව්වට යා හැකි වූ පමණින් තමන් ද ඒ මට්ටමට ම ළඟා විය යුතුයි කියල හිතන්න එපා."
භෞතචිකිත්සක මැතිව්ස් තවදුරටත් කියා සිටියේ යෝගා ගුරුවර ගුරුවරියන් වෙනත් ව්‍යායාම කෙරෙහි යොමු නොවීම හේතුවෙන් ද මෙවැනි ආබාධ වර්ධනය විය හැකි බවය.
"ඒ අය සතියකට දින හයක් විතර යෝගා කරන නිසා හිතනවා ඇති ඒ හොඳටම ඇති කියල."
"අනිත් හැම දේම වගේ, එකම දේ දිගින් දිගටම කිරීමෙන් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. කරන ව්‍යායාම මිශ්‍ර විය යුතුයි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ප්‍රතිකාර සඳහා මා වෙත පැමිණෙන යෝගා ගුරුවර ගුරුවරියන් තරුණයි. වයස අවුරුදු 40-42 පමණ අය. ඒ අය නොන්ඩි ගසමින් එනවනම්, මීටර දහයක්වත් ඇවිද ගන්නට බැරිනම් භෞතචිකිත්සාවෙන් (physio) පමණක් ගොඩ ගන්න බැහැ. වසර දෙකක් පමණ ගත වෙලා නම් හොඳම භෞතචිකිත්සකයාට වුවද කළ හැකි දෙයක් නැහැ." ඔහු පැවසීය.
"සමහර විට ශල්‍යකර්මයක් කරන්න වෙයි. ඇතැම් විට මුළු උකුල් අස්ථි පද්ධතිය ම අලුතින් බද්ධ කරන්න වෙයි."
යෝගා ගුරුවරුන් තමන් පිළිබඳව තක්සේරු වාර්තාවක් ලබා ගැනීම් සුදුසු බව ඔහු යෝජනා කරයි.
"එවිට ඔබට දැනගත හැකියි තමන් ගේ සිරුර කෙතරම් දුරකට නම්‍යශීලී විය හැකිද කියල." භෞතචිකිත්සක මැතිව්ස් පැවසීය.
නැතලි ගාර්ට්ෂෝර් යෝගා ගුරුවරියකි. වසර 16ක් තිස්සේ ඇය එම වෘත්තියේ නියැලෙන්නී ය.
යෝගාවලට පවතින ජනප්‍රියත්වය නිසාම ඔවුන් ඒ තුළ ගොදුරු බවට පත් වන බව ඇයගේ අදහසයි.
"යෝගා ගුරුවරියක් වෙන්න පුහුණුවීම් කරන කොට කායික විද්‍යාව හෝ ව්‍යුහ විද්‍යාව ගැන (physiology or anatomy) ඒ තරම් කියල දෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. උවමනාවට වඩා යෝගා කරන්නට යාම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා." නැතලි පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Image copyrightNATALIE GARTSHORE
නැතලි 45 හැවිරිදි ය. මීට පස්වසරකට පෙර ඇයගේ උකුළු අස්ථියේ කාටිලේජවලට හානි සිදු විය.
දැන් ඇය සති අන්තයේ යෝගා ඉගැන්වීම නොකරන්නීය. තම වෘත්තියේ නියැලෙන පැය ගණන අඩු කර ගැනීම සඳහා ඇයගේ කාලය කළමනාකරණය කරන්නීය.
නමුත් මෙම ක්‍ෂේත්‍රයට අලුතින් පැමිණෙන ගුරුවරියන්ට එසේ කිරීම පහසු නොවන බව ඇය පැවසුවාය.
"ඒ අය දවසකට පන්ති පහක් පමණ කරනවා. සති අන්තයේත් වැඩ කරනවා." නැතලි ප්‍රකාශ කළාය.
"බ්‍රිටිෂ් වීල් ඔෆ් යෝගා" (The British Wheel of Yoga) යනු යෝගා ඉගැන්වීම වෘත්තීය කරගත් අය වෙනුවෙන් පවතින නියාමන ආයතනය වේ.
තවත් කෙනෙකු සමඟ තරඟෙට
එහි අධ්‍යයන අංශයේ ප්‍රධානි වෙන්ඩි හාරින්ග් කියා සිටියේ "ඇතැම් යෝගා පන්ති තුළ සිසුන් එක් ඉරියව්වක බොහෝ වෙලාවක් තබා ගැනීම" සිදු කෙරෙන බවත් එහි දී මෙවැනි ප්‍රශ්න ඇතිවිය හැකි බවත් ය.
කෙසේ නමුත් තම ආයතනයේ අනුමැතිය ලත් පාඨමාලාවලට අනුබද්ධව භෞතචිකිත්ස විද්‍යාව සහ ව්‍යුහ විද්‍යාව හැදෑරීම "ප්‍රධාන කොටසක්" බව ඇය පවසන්නීය.
"ඇතැම් ඉරියව් තරමක් වෙනස් කොට පුහුණු වන ආකාරය අපි උගන්වනවා."
වරලත් භෞත චිකිත්සකයන්ගේ සංගමයේ වෘත්තීය උපදේශක පිප් වයිට් කියා සිටියේ "යෝගා කියන්නේ ඉතාම හොඳ දෙයක්. සෞඛ්‍යට සහ සනීපාරක්ෂාවට ප්‍රතිලාභ රැසක් තිබෙනවා," යනුවෙනි.
"කෙසේ නමුත්, අනෙකුත් හැම ව්‍යායාමයක් වගේම මේකත් ප්‍රවේසමෙන් කළ යුතුයි. තමන්ගේ සීමාව හොඳින් තේරුම් ගත යුතුයි. අපේ සිරුරු වැඩිලා තියෙන ආකාරය එකිනෙකට වෙනස්."
"යෝගා කියන්නේ තවත් කෙනෙකු සමඟ තරගෙට කළ යුතු දෙයක් නොවෙයි. තමන්ගේ හැකියාව සහ සීමාව හොඳින් තේරුම් ගෙන කරන තාක් කල් මෙයින් ලැබෙන ප්‍රතිලාභ එමටයි." පිප් වයිට් කියා සිටියේය.








