ජපානයේ හගිබීස් සුළි කුණාටුව: බේරාගැනීමේ මෙහෙයුමට ලක්ෂයකට අධික පිරිසක්

ජපානය හරහා හමා ගිය හගිබීස් සුළි කුණාටුවට ගොදුරු වූවන් බේරා ගැනීමේ මෙහෙයුමට 110,000කට අධික පිරිසක් යොදවා තිබේ.

මෙම කුණාටුව ජපානය හරහා හමා ගියේ පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් 12) ය.

දශක කිහිපයක් ඇතුළත ජපානයට හැමූ දරුණුතම කුණාටුව ලෙස සැලකෙන හගිබීස් ට ගොදුරු වී අවම වශයෙන් 37 දෙනෙකුවත් මිය ගොස් ඇති අතර තවත් විසිදෙනෙකු පමණ අතුරුදහන් වී තිබේ.

හගිබීස් මේ වන විට ජපාන භූමියෙන් පිටතට ඇදී ගොස් ඇති නමුත් එමගින් සිදු වූ හානිය සුළුපටු නොවේ.

නාය යාම් සහ ජල ගැලීම්වලට කොටු වී සිටින ජනතාව වෙත ළඟා වීමට පොලිසිය, හමුදාව සහ ගිනි නිවන භටයන් දහස් ගණනක් උත්සාහ කරමින් සිටිති.

පැයට කිලෝ මීටර 225ක් දක්වා වේගයකින් හමා ගිය හගිබීස් කුණාටුව ජපානයේ පළාත් අටකට හානි ගෙන දුන්නේය.

නාගනෝ පළාතේ මෙහෙයුම් දියත් කර ඇති බේරා ගැනීමේ කණ්ඩායම් ඉනක් වට ජලයේ බැස සිය රාජකාරියේ යෙදෙන ආකාරය දක්නට ලැබුණි.

එම පළාතේ පිහිටි දුම්රිය නැවතුම් ස්ථානයක් ද ජලයෙන් යට වී ඇති අතර අධි වේගී දුම්රිය 10ක් දියේ ගිලී පවතී. ඉන් එක් දුම්රියක වටිනාකම ඩොලර් මිලියන 30ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේ "බේරා ගැනීමේ කණ්ඩායම් විශේෂයෙන් ම අතුරුදහන් වූවන් සොයා, ජල ගැල්මට හසු වී ඇති නිවාස පරීක්ෂා කරනු ඇති" බවය.

නිවාස 92,000ක විදුලි බලය විසන්ධි වී ඇති අතර තවත් නිවාස 120,000කට ජල සැපයුම නතර වී ඇත.

කුණාටුව හමා එද්දී මිලියන හතකට අධික පිරිසකට නවාතැන්වලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති නමුත් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවලට පැමිණ ඇත්තේ 50,000ක් පමණි.

සාපේක්ෂව ටෝකියෝ නගරයට එතරම් හානියක් වී නොමැත. නමුත් අනෙකුත් නගර ජලයෙන් යට වී පවතී.

පැය 48ක් ඇතුළත හකොනේ පළාතට ඇදහැලුණු වර්ෂාපතනය මීටරයකට වඩා වැඩි විය. එය මෙතෙක් ජපානයේ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වේ.

රග්බි ලෝක කුසලාන තරගාවලිය මේ වන විට ජපානයේ පැවැත්වෙන අතර මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තරඟ තුනක් අවලංගු කිරීමට සිදුවිය.

නමුත් ප්‍රධාන තරඟයක් වූ ජපානය සහ ස්කොට්ලන්තය අතර තරඟය පැවැත්වීමට හැකි විය. එම තරඟයෙන් ජයගත් ජපානය ඉතිහාසයේ ප්‍රථම වතාවට රග්බි ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසාන පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලැබීය.

එම තරඟය ජය ගැනීමෙන් අනතුරුව ජපාන රග්බි කණ්ඩායමේ පුහුණුකරු වන ජෙමී ජෝසෆ් විසින් හගිබීස් සුළි කුණාටුවට ගොදුරු වූවන්ට සිය ගෞරවය පුද කළේය.

ෆාස්සයි කුණාටුවෙන් ජපානයට හානි සිදු වී ගත වුයේ මාසයක් පමණි. ඉන් නිවාස 30,000කට හානි සිදු වූ අතර ඉන් බහුතරය තවමත් අලුත්වැඩියා කර නොමැත.