වැරදි ශුක්‍රාණු පාවිච්චි කළ කෘත්‍රිම ගැබ් ගැන්වීමක්

ශුක්‍රාණු ,SPERM

ඡායාරූප මූලාශ්‍රය, BSIP/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ ලිපි ලේඛන කලවම් වීමෙන් කාන්තාව ගැබ් ගැන්වීමට යොදාගෙන තිබෙන්නේ ඉල්ලුම් කරන ලද ශුක්‍රාණු නොව වෙනත් ශුක්‍රාණු තරලයකි

කෘත්‍රිම ගැබ්ගැන්වීම් සිදු කරන එංගලන්ත සායනයක් අදාළ ලිපි ලේඛන කලවම් වීමෙන් කාන්තාවකට ඉල්ලුම් කරන ලද ශුක්‍රාණු නොව වෙනත් පරිත්‍යාගශීලියකුගේ ශුක්‍රාණු ලබා දී ඇති බව වාර්තා වෙයි.

සිය දෙවැනි දරුවා කෘත්‍රිම ගැබ් ගැන්වීමක් මගින් අපේක්‍ෂා කළ යුවලක් ඒ සඳහා 'එසෙක්ස්'හි චෙම්ස්ෆෝර්ඩ්(Chelmsford) ප්‍රදේශයේ පිහිටි 'සිම්ප්ලි ෆර්ටිලිටි' (Simply Fertility) සායනයේ සේවය ලබා ගනිමින් සිටියදී එම අත්වැරැද්ද සිදු වී ඇති බව "මානව බීජ සංසේවනය සහ කළල විද්‍යාව පිළිබඳ අධිකාරිය (HFEA) පවසයි.

එම 'වැරදි' ශුක්‍රාණු සංසේවනයේ ප්‍රතිපලයක් වශයෙන් අදාළ කාන්තාව දරුවකු ප්‍රශූත කර ඇත.

එවැනි අත්වැරැද්දක් යළිත් සිදු නොවීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගත් බව එම වරද සිදුකළ චිකිත්සාගාරය පවසයි.

එම ප්‍රශ්නයට මුහුණ දුන් අඹුසැමි යුවල පළමුවරට ඉහත කී සායනයෙහි 'ගැබ්ගැන්වීමේ' ප්‍රතිකාර ආරම්භ කරනු ලැබ තිබෙන්නේ 2016 වසරේ දීය.

ශුක්‍රාණු , ඩිම්බ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෘත්‍රිම ගැබ් ගැන්වීම්වලදී එවැනි වැරදි සිදුවීම ඉතා දුර්ලභ බව "මානව බීජ සංසේවනය සහ කළල විද්‍යාව පිළිබඳ අධිකාරිය (HFEA) පවසයි.

එම සායන ක්‍රියාවලිය තුළ එක් පරිත්‍යාගශීලියකුගේ ශුක්‍රාණු භාවිත කරමින් සිදු කළ පළමු ගැබ් ගැන්වීම අසාර්ථක වූ අතර, දෙවැනි පරිත්‍යාගශීලියකුගේ ශුක්‍රාණු උපයෝගී කර ගනිමින් සිදුකළ ගැබ් ගැන්වීම සාර්ථක වූ බවත් "මානව බීජ සංසේවනය සහ කළල විද්‍යාව පිළිබඳ අධිකාරියේ (HFEA) වාර්තාවේ දැක්වෙයි.

එමගින් අදාළ කාන්තාව සිය පළමු දරුවා ලබා ඇත.

එම යුවල 2018 වසරේ යලිත් එම 'සිම්ප්ලි ෆර්ටිලිටි'' (Simply Fertility) සායනයට පැමිණ, ඉහත කී සාර්ථක පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු උපයෝගී කර ගනිමින් සිය පළමු දරුවා සඳහා සම්පූර්ණ ජෛවීය සමානකම් ඇති සහෝදරයකු හෝ සහෝදරියක සඳහා යලිත් කෘත්‍රිම ගැබ්ගැන්වීමේ සායන වැඩ පිළිවෙලකට සහභාගී වී ඇත.

එහෙත් එම අවස්ථාවේ 'සිම්ප්ලි ෆර්ටිලිටි' සායනය කාන්තාව ගැබ් ගැන්වීම සඳහා පාවිච්චි කරනු ලැබ තිබෙන්නේ පළමු අසාර්ථක පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු තරලයකි.

සිදු වූ අත්වැරැද්ද හෙළිදරව් වී තිබෙන්නේ කෘත්‍රිම සංසේවනය මගින් නිර්මාණය කරන ලද කළලය කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කරනු ලැබීමෙන් අනතුරුව බව "මානව බීජ සංසේවනය සහ කළල විද්‍යාව පිළිබඳ අධිකාරිය (HFEA) පවසයි.

sperm,ශුක්‍රාණු

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

ඡායාරූප ශීර්ෂ වැකිය, එම යුවල තමන් අපේක්‍ෂා නොකළ කළලය ආරක්ෂා කර ගැනීමට තීන්දු කර ඇත.

සිදුව ඇති එම වරද දැනගත් වහාම ඒ බව "මානව බීජ සංසේවනය සහ කළල විද්‍යාව පිළිබඳ අධිකාරියේ (HFEA) ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මණ්ඩලයකට දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ වාර්තාව පවසයි.

එසේම සිදු වී ඇති අත්වැරැද්ද අදාළ යුවලට ද දැනුම් දී ඇත.

සහයෝගයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වූ එම යුවල එම අපේක්‍ෂා නොකළ කළලය ආරක්ෂා කර ගැනීමට තීන්දු කර ඇත.

"මෙම කාරණය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයක දී එම වැරැද්ද සිදුවුණේ කොහොමද? කියන කාරණය අපි හඳුනා ගත්තා. එවැනි වරදක් යලිත් වතාවක් සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා" 'සිම්ප්ලි ෆර්ටිලිටි' සායනය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

"මෙම ප්‍රශ්නයට මුහුණ දුන් කාන්තාවගේ රහස්‍යභාවය රැකිය යුතු හෙයින් වැඩිදුර තොරතුරු සාකච්ඡාවට ගැනීමට අපට නොහැකියි. එහෙමවුනත්, සිදු වූ දෙය සම්බන්ධයෙන් කණස්සල්ලට පත්වූවන්ගේ චිත්ත පීඩාව සම්බන්ධයෙන් අපි අවංකවම සමාව අයදිනවා," එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

ශුක්‍රාණු,ඩිම්බ

ඡායාරූප මූලාශ්‍රය, SPL

ඡායාරූප ශීර්ෂ වැකිය, කෘත්‍රිම සන්සේවනයක් සිදු කෙරෙන ආකාරය

එවැනි අත්වැරදි සිදුවීම ඉතාම දුර්ලභ බව පෙන්වා දෙන "මානව බීජ සංසේවනය සහ කළල විද්‍යාව පිළිබඳ අධිකාරියේ (HFEA) වාර්තාව ඉහත කී වරද ඉස්මතුකර පෙන්වා ඇත.

එම වාර්තාව අනුව කෘත්‍රිම ගැබ්ගැන්වීම් චක්‍රයේ එවැනි වැරදි සිදුවන්නේ 1% ටත් අඩු මට්ටමකිනි.

එහෙත් 2018 වසරේ එය 6% ක් වී ඇති අතර, ගත වූ වසර තුනක කාලය තුළ එය 18%කි.

කියවන්න: