උපාධිධාරී පුරුෂයන් 'හිඟවීම' නිසා ඩිම්බ ගබඩා කරන තරුණියෝ

ගැබිණි මවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උසස් අධ්‍යාපනය ලැබූ පුරුෂයන් "හිඟවීම" හේතුවෙන් වෘත්තීය කාන්තාවන් විශාල පිරිසක් සිය ඩිම්බ අධි ශීතකරණවල ගබඩා කිරීමට පෙළඹී සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් පවසති.

විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරු පුරුෂයන්ට වඩා කාන්තාවන් විශාල වශයෙන් වැඩිවීම හේතුවෙන් තමන්ට සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට ඔවුන්ට ප්‍රබල උත්සාහයක් දැරීමට සිදු වී තිබෙන බව යේල් විශ්වවිද්‍යාලයේ (Yale University) පර්යේෂකයන්ගේ නිගමණය වී තිබේ.

බ්‍රිතාන්‍යය වැනි කාන්තාවන් බහුල වශයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුවන රටවල මේ ගැටලුව වැඩිපුරම දක්නට ලැබෙන බව ද පර්යේෂකයෝ පවසති.

සිය ඩිම්බ අධි ශීතකරණවල තැන්පත් කළ කාන්තාවන් 150 ක් එම පර්යේෂණය සඳහා යොදාගෙන තිබේ. ඒ අතරින් 90% ක්ම පවසා තිබෙන්නේ සුදුසු සහකරුවෙකු සොයාගැනීම දුෂ්කර වීම හේතුවෙන් තමන් එසේ කළ බවය.

සිය රැකියාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් කාන්තාවන් දරුවන් බිහිකිරීම පමා කරන බවට පවතින මතය මේ මගින් අභියෝගයට ලක් කෙරෙන බව පර්යේෂණ වාර්තාවේ කතුවර මහාචාරිනී මාර්සියා ඉන්හොර්න් (Marcia Inhorn) පවසන්නීය.

උපාධිධාරී තරුණයන්

ඩිම්බ කෝෂ තැන්පත් කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

මෙම තරුණියන් සමග අතිනත ගැනීම පිණිස උපාධිධාරී තරුණයන් ප්‍රමාණවත් නොවීම උගත් තරුණියන් දරුවන් බිහිකිරීම පමා කිරීමට හේතුව බව ද ජිනීවා නුවර පැවති සමුළුවක් අමතා දහස් දක්වමින් ඇය කියා සිටියාය.

විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරු බ්‍රිතාන්‍යයේඋගත් තරුණියන් සිය යුග දිවිය ආරම්භ කිරීම පමා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව දරුඵල ලැබීම සම්බන්ධ බ්‍රිතාන්‍ය සංසදයේ සභාපති මහාචාර්ය ඇඩම් බැලන් පවසයි.

"අතීතයේ දීට වඩා වැඩිමහල් කාන්තාවන් මගේ සායනවලට ඒමේ පැහැදිලි වැඩිවීමක් දකින්න ලැබෙනවා," ඔහු පැවසීය.

වේදනාකාරී ක්‍රියාවලියක්

A human egg injected with a micro-needle that contains a single sperm

ඡායාරූප මූලාශ්‍රය, SPL

යේල් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අදාළ පර්යේෂණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වන්නේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන පුරුෂයන්ගේ සංඛ්‍යාව පහළ වැටීම පිළිබඳව අවධානය පළ වී තිබෙන මොහොතකය.

කෙසේ නමුත් ඩිම්බ අධි ශීතකරණවල තැන්පත් කිරීම වේදනාකාරී මෙන්ම වියදම් අධික ක්‍රියාවලියක් බවටත් මහාචාර්ය ඇඩම් බැලන් අනතුරු අඟවයි.

ඒ සම්බන්ධ තාක්ෂණයේ ප්‍රබල දියුණුවක් පවතින නමුත් එමගින් අනිවාර්යයෙන්ම අනාගතයේදී දරුවෙකු බිහිකිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.