ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනයේ යුද ශක්තිය ප්‍රදර්ශනය කළ විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය
චීනය සිය යුද බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිය රටේ විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය අනුස්මරණය කරමින් සිටී.
චීන මහජන ජනරජය (PRC) මෙම හැත්තෑ වෙනි සංවත්සරය නම්කරනු ලැබ තිබෙන්නේ "මහා උපන් දිනය" යනුවෙනි.
ඊට එක්වූ යුද හමුදා පෙළපාලිය අධීක්ෂණය කරමින් අදහස් දැක්වූ ජනාධිපති ෂි ජින්පින් "චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැහැ"යැයි කියා සිටියේය.
සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා එරට වේලාවෙන් සන්ධ්‍යාවෙහි චීනයේ විප්ලවීය ජයග්‍රහණය බේජිං අගනුවර 'තියනාන්මෙන්'චතුරශ්‍රයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබිණි.
"මහජන චීන ජනරජය" පිහිටුවීමේ ඓතිහාසික නිවේදනය මාඕ සේතුං විසින් ස්ථාපනය කරන ලද්දේ එදින පවත්වන ලද ඓතිහාසික ප්‍රකාශය මගිනි.
මාඕ සේතුං ගේ නායකත්වයෙන් 1921 දී ආරම්භ කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ගෙනයන ලද දීර්ඝ අරගලයකින් අනතුරුව පිහිටුවන ලද මහජන චීන ජනරජය මේවනවිට වසර හැත්තෑවක් සම්පූර්ණ කරනු ලැබ ඇත.
හැත්තෑ වසරක ගමන් මග
1949 ඔක්තෝබර් පළමුවෙනිදා ප්‍රකාශිත මහජන චීන ජනරජය ආරම්භක අවධියෙහි විශාල ආර්ථික පසුබෑමකට ලක්වූ අතර 1950 දශකයේ දී සභාපති මාඕ සේතුං විසින් ඉදිරිපත් කරන ලද "මහා පිම්ම" ආර්ථික ඉලක්කය ද අසාර්ථකභාවයෙන් කෙළවර විය.
ඉන් අනතුරුව චීන දේශපාලනයේ වඩාත් සංවාදාත්මක අවධිය වන්නේ 1966-76 අතර කාලය තුළ ක්‍රියාවට නංවන ලද "සංස්කෘතික විප්ලවය" වේ.
චීන සංස්කෘතික විප්ලවයේ අරමුණ විප්ලවය මගින් පරාජය කරන ලද "වැඩවසම්වාදී සහ ධනපති මූලයන් සමාජයෙන් සහමුලින්ම උපුටා දැමීමක්" යයි ප්‍රකාශයට පත් කරන ලද නමුත්, එය සමාජ දේශපාලන "ප්‍රතිවිරුද්ධ මතවාද මර්දනය කිරීමක්" ලෙස බෙහෙවින් දෝෂ දර්ශනයට ලක්විය.
චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මතයට අනුගත නොවූ බුද්ධිමතුන් ද ඇතුළු වෙනත් මතධාරීන් සංස්කෘතික විප්ලවයේ දී ශාරීරික මට්ටමින් වධ හිංසාවන්ට ලක් කෙරුණ බවට එවක පැවති තවත් සමාජවාදී රටක් වූ සෝවියට් සංගමය පවා බේජිං බලධාරීන්ට එරෙහිව දැඩිව දෝෂාරෝපණය කළේය.
මාඕ සේතුංගේ අභාවයෙන් පසු එම ගමන් මාර්ගයේ විශාල වෙනසක් සිදු කෙරුණේ 1977 දී ඩේන් ෂියාඕපිං (Deng Xiaoping) විසින් හඳුන්වා දෙන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟය.
ඩේන් ෂියාඕපිං පාලනය යටතේ එතෙක් චීනය ගමන්ගත් මාවතේ විශාල වෙනසක් සිදු වූ අතර,වෙනස් ආර්ථික ගමන් මාර්ගයක් ද එමගින් සලකුණු කරනු ලැබිණි. චීනයේ අද ක්‍රියාත්මක වන ආර්ථික රාමුව සඳහා පදනම සකස් කරන ලද්දේ ඩේන් ෂියාඕපිං විසිනි.
1985 න් පසු මිහායිල් ගොර්බචෝෆ් විසින් සෝවියට් සංගමයේ ක්‍රියාවට නංවන ලද "පෙරෙස්ත්‍රෝයිකා" වැඩපිළිවෙල චීන සමාජයෙහි ද බලපෑමක් කළ අතර, ඒ සමඟ පැතිර ගිය ශිෂ්‍ය සහ මහජන නැගිටීම් 1989 දී "තියනාන්මෙන්" චතුරශ්‍රයේ මර්දනය මගින් යටපත් කර දැමීමට බේජිං පාලකයෝ සමත් වූහ.
ලෝකයේ දෙවන ආර්ථික බලවතා
2010 වසරේදී චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්විය.
චීන පාලනයේ මෑතකාලීන සාකච්ඡාවට භාජනය වූ දේශපාලන ක්‍රියාව වර්තමාන චීන ජනාධිපති ෂි ජින්පින් යාවජීව ජනාධිපතිවරයා ලෙස නීතිගත කර ගැනීමය.
සිය හැත්තෑ වෙනි සංවත්සරය නිමිත්තෙන් චීන රජය විසින් සංවිධානය කරනු ලැබ ඇති යෝධ යුද පෙළපාලිය නැරඹීම සඳහා තෝරා ගන්නා ලද ආරාධිත මහජන නියෝජිතයන්ට අමතරව රටවල් රාශියකට අයත් යුද නිලධාරීහු ද වූහ.
සිය විප්ලවීය සංවත්සරය නිමිත්තෙන් චීනය යෝධ ශක්තියක් ප්‍රදර්ශනය කිරීමට යන බවට වාර්තා පළවෙමින් පවතින අතරවාරයේ ප්‍රකාශයක් කළ චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් " සිය යුද,දේශපාලන,ආර්ථික සහ මූල්‍යමය ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අභිලාශයක් චීනයට නොමැති" බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා, කෙසේවෙතත් "චීනයේ සාම අභිලාෂය සහ වගකීම" සිය සමරු පෙළපාලියේ දී ප්‍රදර්ශනය කෙරෙන බව කියා සිටියේය.
එවැනි ප්‍රකාශන මගින් සියරටෙහි නිපදවන ලද යුද අවි ප්‍රදර්ශනයට චීනය මෙම සමරු රැලිය අවස්ථාවක් කරගනු ලැබිණි.
චීන ආරක්ෂක අමාත්‍යංශය විසින් වාර්තා කරන ලද පරිදි විප්ලවීය සමරු පෙළපාලියෙහි යුද හමුදා භටයන් 15,000 ක් ගමන් ගත් අතර,580 ක් පමණ යුද උපකරණ එම පෙළපාලිය තුළ ප්‍රදර්ශනය කිරීමේ සැලැස්මක් විය.
යුද්ධ ටැංකි, සන්නද්ධ රථ, නියමුවන් නොමැති ඔත්තු බලන යානා සහ නියමුවන් නොමැතිව දියයට කිමිදෙන යාත්‍රා වැනි නව නිර්මාණ රැසක් මෙවර පෙළපාලියට එක් කරන ලද බව වාර්තා වේ.
ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි තත්ත්වයක පවතින සියරට සතු ඉතා දියුණු මට්ටමේ යුදඅවි සම්භාරය චීනයේ මහජන විප්ලවීය හමුදාවේ (චීන රතු හමුදාව ) බලවත් ආශ්වාදයට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති.
ප්‍රදර්ශනය කරන ලද අවි ආයුධ අතර ප්‍රහාරක ශක්තිය වැඩි දියුණු කරන ලද දේශීය අවි නිෂ්පාදනයට අයත් නව නිර්මාණ රැසකි.
තවත් විශේෂත්වයක් වන්නේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ යොදවා සිටින අට දහසක චීන සේනාංකයක් පළමුවරට විප්ලවීය සමරු පෙළපාලිය සඳහා එක්වීමය.
චීනයේ යුද වියදම්
පසුගිය කාල සීමාව තුළ චීනයේ යුද වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිය අතර, ජනාධිපති ෂි ජින්පින් (Mr Xi) විසින් 2015 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ යටතේ එම වියදම් මහා පරිමාණයෙන් වැඩි කරනු ලැබිණි.
පසුගිය වසර දහයක කාලය ඇතුළත වසරක් පාසා බේජිං පාලනයේ යුද වැය ශීර්ෂය 10%ක මට්ටමින් දිගටම ඉහළ ගිය අතර, දැන එහි වාර්ෂික වැය මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 168.2 ක මට්ටමේ පවතී.
ඒ අනුව චීනය ලෝකයේ යුද වියදම් අතින් දෙවැනි ස්ථානය හිමිකර ගනී.
යුද අවි නිෂ්පාදනය වෙනුවෙන් කරන පර්යේෂණ, නව අවි නිර්මාණය කිරීම සහ ඒවා අත්පත් කර ගැනීම සඳහා 2018 වසරේ චීන පාලනය ඇමෙරිකානු ඩොලර් බිලියන 56.1 ක් ආයෝජනය කර ඇති අතර එය ඔවුන්ගේ සමස්ත ආරක්ෂක වැය ශීර්ෂයෙන් 33% කට මඳක් වේ.
යුද අවි වෙනුවෙන් වැඩිම වැය බරක් දරන ආසියානු රාජ්‍යය චීනය ය.
එම වියදම " පිළිගත හැකි සහ අවශ්‍ය" වැයක් බව මෑතදී ප්‍රකාශයට පත් කෙරුණු චීන ආරක්ෂක ධවල පත්‍රිකාවකින් කියැවුණි.
චීනය සිය මහා පරිමාණ යුද වියදමෙහි වැදගත්කම යුක්ති සහගත කරගනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කරනු ලබන යුද වියදම් සහ තම වියදම් සැසඳීම මගිනි.
එක්සත් ජනපදය ලෝකයේ වැඩිම යුද වියදම්කරුවා වන අතර 2018 වසරේ ඔවුන්ගේ සමස්ත ආරක්ෂක වියදම ඩොලර් බිලියන 643.3 ක් විය.
"ලෝකයේ දෙවැනි ශක්තිමත් ආර්ථිකයට හිමිකම් කියද්දී තමරටේ ආරක්ෂක වියදම 2017 වසරේ ඇමෙරිකානු ආරක්ෂක වැය ශීර්ෂයෙන් හතරෙන් පංගුවක්" පමණක් වූ බවට බේජිං පාලකයෝ තර්ක කරති.
ජාත්‍යන්තර ප්‍රමිතියට සහ ලෝකයේ බලවත් යුද යාන්ත්‍රණ සමඟ පවතින පරතරය අඩුකිරීම සඳහා තමන් ශක්තිමත් යුද අංශයක් ගොඩ නගමින් ඇතැයි චීනය පවසයි.
හොංකොංවිරෝධතාවාදීන් ගෙනා අඳුර
චීනය සිය හැත්තෑ වෙනි විප්ලවීය සංවත්සරය මහත් හරසරින් සමරමින් සිටියදී, හොංකොං දූපතේ විරෝධතාවාදීන් දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණය කරමින් සිටි අතර පොලිසිය සමඟ ප්‍රචණ්ඩ ගැටුම් ඇති වූ බවක් ද වාර්තා වේ.
මහාමාර්ග අවහිර කරමින් සිටි විරෝධතාවාදීන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර අත්අඩංගුවට ගැනීම් පිළිබඳවද වාර්තා වේ.
සිය දූපතේ සමාජ දේශපාලන ජීවිතය පාලනය කිරීම සඳහා 'බේජිං පාලකයන් කරන මැදිහත්වීම වැඩිවෙමින් පවතින බවට එම හොංකොං උද්ඝෝෂකයෝ චෝදනා කරති.
කියවන්න;