බ්‍රිතාන්‍ය රජ කුමරාට අමෙරිකානු තරුණියකගෙන් අභියෝගයක්

බ්‍රිතාන්‍යයේ යෝර්ක්හි ආදිපාදවරයා වන ඇන්ඩෲ කුමරු සමග ලිංගිකව එක්වන ලෙස ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චූදිතයෙකු වූ ඇමෙරිකානු කෝටිපතියකු වූ ජෙෆ්රි එප්ස්ටීන්(Jeffrey Epstein) විසින් එවක 17 වන වියේ පසුවූ තමන්ට බල කරනු ලැබූ බවට වර්ජිනියා ගුෆ්රේ(Virginia Giuffre) නමැති කාන්තාව චෝදනා කරයි.
ඇය කියා සිටින්නේ, බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇන්ඩෲ කුමරු අධිකරණය හමුවට පැමිණ එම චෝදනා සාවද්‍ය නම් එය ඔප්පු කළ යුතු බවය.
එප්ස්ටීන්ගේ මරණයෙන් පසුව පැවති නඩු විභාගය අවසානයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ වර්ජිනියා ගුෆ්රේ, "ඔහු කළ දේ පිළිබදව ඔහු දන්නාවා" යැයි කියා සිටියාය.
යෝර්ක්හි ආදිපාද ඇන්ඩෲ කුමරු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ලිංගික ජාවාරම් සහ කුමන්ත්‍රණ කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගත කර සිටි 'එප්ස්ටීන්' මේ මසදී සිර මැදිරිය තුළදී සියදිවි හානි කර ගත්තේය.(එහෙත් එය ඝාතනයක් බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු සිය මිතුරන් බව පවසා ඇති හැටහය හැවිරිදි (66) හැවිරිදි ජෙෆ්රි එප්ස්ටීන්(effrey Epstein) අගෝස්තු මස 10 වන දා සිර මැදිරිය තුළ මියගොස් සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එප්ස්ටීන් මියගොස් ඇති හෙයින් ඔහුට එරෙහි අපරාධ නඩුව අවසන් කළ 'නිව් යෝර්ක් සිටි' අධිකරණය පැමිණිලිකරුවන් පහළොස් (15) දෙනෙකුට අදහස් දැක්වීමට අවස්ථාව දී තිබිණි.
දැඩි කෝපයෙන් යුතුව අදහස් දැක්වූ අගතියට පත් කාන්තාවන් පැවසුවේ, 'එප්ස්ටීන්' සිය දිවි හානි කර ගැනීමෙන් අධිකරණය නොමග යවා ඇති බවය.
එහෙත් අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉහත කී ජාවාරම්වලට සම්බන්ධ වෙනත් කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව පියවර ගැනීමට තවමත් ඉඩකඩ ඇති බව නීතිඥයෝ පවසති.
වර්ජිනියා ගුෆ්රේ නගන චෝදනා
දැනට තිස්පස් (35) හැවිරිදි වර්ජිනියා ගුෆ්රේ, ඇන්ඩෲ කුමරුන් සමග ලිංගිකව එක්වන ලෙසට ජෙෆ්රි එප්ස්ටීන් තමාට අවස්ථා තුනකදී බල කළ බවට චෝදනා කරන්නීය. ඇන්ඩෲ කුමරු එම චෝදනා බැහැර කරයි.
එප්ස්ටීන් තමා "ලිංගික වහලියක්" ලෙස රදවාගෙන සිටි බවට ඇය චෝදනා කරන්නීය. "මගේ බලාපොරොත්තු විනාශ වුණා. මගේ සිහින සොරා ගත්තා," යයි ඇය අඟහරුවාදා (අගෝස්තු 27) අධිකරණය හමුවේ කියා සිටියාය.
තමා පහළොස් (15) වැනි වියේ පසුවූ කාලයේ 'ෆ්ලොරීඩාහි' ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ගොල්ෆ් ක්‍රීඩාංගණයක අවන්හලක සේවය කරමින් සිටියදී 'ඝිස්ලේන් මැක්ස්වෙල්' (Ghislaine Maxwell)නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් තමන් මගින් එප්ස්ටයින් සමග පණිවුඩ හුවමාරු කර ගත් බවත් ඇය පවසන්නීය.
මාධ්‍ය හමුවේදී ඇන්ඩෲ කුමරු පිළිබදව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වර්ජිනියා ගුෆ්රේ මෙසේ සඳහන් කළාය.
"එයා (ඇන්ඩෲ කුමාරයා) දන්නවා එයා මොනව ද කළේ කියලා. එයාට ඒකට උත්තර දෙන්න පුළුවන්. ඔහු හරියට ම දන්නවා ඔහු මොනව ද කළේ කියලා. මම බලාපොරොත්තු වෙනවා - ඔහු ඉදිරිපත් වෙලා ඒක පැහැදිලි කරාවි කියලා"

ඡායාරූප මූලාශ්‍රය, NEWS SYNDICATION
මීට අමතරව, තවත් අගතියට පත් තරුණියන් පිරිසක් තමන් මුහුණ පෑ තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූහ.
එප්ස්ටීන්ට එල්ල වෙන චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
වසර 2002 - 2005 අතර කාලය තුළ ඔහුට අයත් 'මැන්හැට්න්' සහ 'ෆ්ලෝරීඩා'හි මන්දිරවල වයස අවුරුදු දහඅටට (18) අඩු ගැහැණු ළමුන්ට ලිංගික ක්‍රියාකාරකම් වෙනුවෙන් ගෙවීම් කළ බවට එප්ස්ටීන්ට චෝදනා එල්ල වී තිබේ.
ඊට අමතරව ඔහුට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විශාල මුදල් ගෙවා ඇති බවට ද ජෙෆ්රි එප්ස්ටීන්ට චෝදනා කෙරේ.
අදාළ චෝදනාවලට තමා නිවැරදිකරු යයි ජෙෆ්රි එප්ස්ටීන් කියා සිටී. එහෙත් ඔහු ඊට වැරදිකරු වීනම් ඔහුට එරෙහිව වසර 45 දක්වා වන කාල පරාසයකට බල පැවැත්වෙන පරිදි සිර දඩුවම් නියම කෙරෙනු ඇත.
ජෙෆ්රි එප්ස්ටීන් සිය පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් 'නිව් ජර්සි' කරා පැමිණි අවස්ථාවේ පසුගිය ජූලි හයවෙනිදා (6) අත්අඩංගුවට ගනු ලැබිණි.
තවදුරටත් කියවන්න.


























