ටයිටැනික් නෞකාව: අත්ලාන්තික් සාගර පතුලේ සිරවූ නැව ගැන අලුත් තොරතුරක්

ඡායාරූප මූලාශ්‍රය, Atlantic Productions
අත්ලන්තික් සාගර පතුලේ සිරවී ඇති ටයිටැනික් නෞකාවේ ඇතැම් කොටස් ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව වසර 15ට පමණ පසු එම නෞකාව නිරීක්ෂණය කළ පළමු පර්යේෂණ කණ්ඩායම පවසයි.
අත්ලන්තික් සාගරයේ මීටර් 3800ක් ගැඹුරින් ඇති මෙම නෞකාව, ගැඹුරු මුහුදු ගවේෂණය පිළිබඳ ජාත්‍යන්තර කිමිදුම් කණ්ඩායම විසින් විමසා බලන ලද්දේ විශේෂ උපකරණ භාවිත කරමිනි.
නෞකාවේ ඇතැම් කොටස් විස්මයජනක ලෙස ඉතා හොද තත්ත්වයක පවතිද්දී, එහි කොටස් කිහිපයක් මුහුදට ක්ෂය වී තිබේ.
වැඩි වශයෙන් ම පරිහානියට පත්ව ඇත්තේ, නෞකාවේ කාර්ය මණ්ඩල නේවාසිකාගාරයේ කොටසකි.
ටයිටැනික් නෞකාවේ ඉතිහාසය පිළිබද විශේෂඥයෙකු වන පාර්ක්ස් ස්ටීවන්සන් පැවසුවේ, මෙම කිමිදුම් ව්‍යාපෘතිය අතරතුර තමන් නිරීක්ෂණය කළ දේ පිළිබදව "කම්පනයට පත්වූ" බවය.
"ටයිටැනික් නැව ගැන උනන්දු වන ගොඩක් අයගේ ප්‍රියතම ඡායාරූපයක් වුණ කැප්ටන්ගේ නාන බේසම (bathtub) දැන් පේන්නවත් නෑ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ඒ පැත්ත සම්පූර්ණයෙන් ගරාවැටෙමින් තිබෙනවා. ඒක තවදුරටත් පරිහානියට පත්වෙමින් තිබෙන්නේ."
ඔහු පැවසුවේ, නෞකාවේ ඉදිරිපස කොටසේ ඇති ශාලාවේ වහලය බොහෝ විට ඊළඟට අහිමි විය හැකි බව පෙනී යන බවය.
"ටයිටැනික් ආයෙත් ස්වභාවධර්මයට එකතු වෙමින් තිබෙනවා," ඔහු සදහන් කළේය.
දැඩි මුහුදු රළ ප්‍රවාහ, ලවණ ඛාදනය සහ වානේ දිරාපත් කරන බැක්ටීරියා වර්ග නෞකාව ආක්‍රමණය කරමින් සිටී.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
ටයිටැනික් ඛේදාන්තයේ ඉතිහාසය
වසර 100කට අධික කාලයක් තිස්සේ ටයිටැනික් නෞකාව කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට කිලෝමීටර් 600ක් පමණ ඔබ්බෙන් සාගර පතුලේ රැදී තිබේ.
එවක ලොව විශාලතම නෞකාව වූ මෙම මගී ප්‍රවාහන නෞකාව 1912 වසරේදී එහි මංගල ගමන වූ සවුතැම්ටන් සිට නිව් යෝර්ක් බලා යාත්‍රා කරමින් තිබියදී අයිස් කන්දක ගැටීමෙන් අනතුරට ලක් විය. අනතුරට ලක් වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය සහ මගීන් 2200 දෙනෙකු සිටි අතර ඉන් 1500 ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
වසර 15කට පසු කළ නිරීක්ෂණය
ටයිටැනික් නෞකාව සම්බන්ධයෙන් මෙම නිරීක්ෂණය කරනු ලැබුවේ, මෑතකදී පැසිෆික් සාගරයේ කිලෝමීටර් 12ක් ගැඹුරින් පිහිටි මරියානා අගාධය නිරීක්ෂණය කළ කණ්ඩායම විසින් මය. එය මරියානා අගාධයේ කළ ගැඹුරුම කිමිදීම විණි.
මෙම නිරීක්ෂණය කරන ලද්දේ, මීටර් 4.6ක් දිග මීටර් 3.7ක් උසින් යුත් DSV Limiting Factor නමැති කිමිදුම් යන්ත්‍ර උපයෝගී කර ගනිමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Reeve Jolliffe
එකිනෙකට මීටර් 600ක් පමණ දුරින් ප්‍රධාන කොටස් දෙකකට වෙන් වී පවතින නෞකාවේ කොටස් වටා එම යන්ත්‍රය හැසිරවීම අභියෝගයක් විය.
අත්ලන්තික් සාගරය ආශ්‍රිතව පැවති අයහපත් කාලගුණය සහ මුහුදු පතුලේ පැවති ප්‍රබල දියවැල් නිසා කිමිදුම් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම දුෂ්කර විය. ඊට අමතරව කිමිදුම් යන්ත්‍රය සුන්බුන්වල පැටලීම ද නිරීක්ෂණ කණ්ඩායම මුහුණ පෑ අවදානමකි.
ටයිටැනික් නිරීක්ෂණවල ඉතිහාසය

ඡායාරූප මූලාශ්‍රය, PA
- 1985 - ඇමෙරිකානු සහ ප්‍රංශ කණ්ඩායමක් විසින් ටයිටැනික් නෞකාව මුහුදු පතුලේ තිබී සොයා ගත්තේය.
- 1986 - ඇල්වින් නමැති කිමිදුම් යන්ත්‍රය මගින් සුන්බුන් නිරීක්ෂණය කෙරිණි.
- 1987 - පළමු ගවේෂණය මගින් ටයිටැනික් නෞකාවේ කෞතුක වස්තු 1800ක් සොයා ගැනිණි.
- 1995 - ජේම්ස් කැමරන් සුන්බුන් නිරීක්ෂණය කළේය. එහි දර්ශන ඔහුගේ ටයිටැනික් චිත්‍රපටය සදහා භාවිත කෙරිණි.
- 1998 - පළමු වරට සංචාරකයින් පිරිසක් ළගා විය.
- 1998 - ටයිටැනික් නෞකාවේ කොටසක් මතු කර ගැනිණි.
- 2005 - මිනිසුන් සහිත කිමිදුම් යන්ත්‍ර දෙකක් සුන්බුන් වෙත ළගා විය.
- 2010 - ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රයක් මගින් නෞකාව පිහිටි ප්‍රදේශය සිතියම්ගත කෙරිණි.
- 2012 - යුනෙස්කෝ ආයතනය විසින් සුන්බුන් සංරක්ෂණය කරන ලදී.
- 2019 - DSV Limiting Factor කිමිදුම් යන්ත්‍රය මගින් නිරීක්ෂණය කරන ලදී.
කිමිදුම්වලදී ලබා ගත් දර්ශන වාර්තාමය ඉදිරි වැඩසටහනක් සදහා භාවිත කෙරෙනු ඇත.
එහි දර්ශන රූගත කිරීමට අමතරව මෙම ගවේෂණයට එක්වූ විද්‍යාඥයින් සුන්බුන් මත වෙසෙන ජීවීන් පිළිබදව ද අධ්‍යයනයක ද යෙදිණි.

ඡායාරූප මූලාශ්‍රය, Atlantic Productions
නෞකාවේ සුන්බුන් ඇති මුහුදු පතුලේ හිම මිදෙන සීතල, ගැඹුරු ජලය සහ අතිපීඩනය පැවතිය ද එහි ජීවීන් වර්ධනය වෙමින් පවතී.
ටයිටැනික් නෞකාව දිරාපත් වීමට බලපා ඇත්තේ එම ජීවීන්ගේ වර්ධනය වීම බව මෙම නිරීක්ෂණයට එක්වූ නිව්කාස්ල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ක්ලෙයාර් ෆිට්සිමන්ස් පැවසීය.
"නෞකාවේ වානේ කොටස් වගේ ම වෙනත් කොටස් දිරාපත් වීමට මේ ක්ෂුද්‍ර ජීවීන් හේතු වී තිබෙනවා," ඇය පැවසීය.
බීබීසී විද්‍යා මාධ්‍යවේදිනී රෙබෙකා මොරේල්ගේ ලිපියක් ඇසුරිනි.
තවදුරටත් කියවන්න.








