දිනක් ඇතුලත පැල මිලියන 350 ක් සිට වූ බව ඉතියෝපියාව පවසයි

පළ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ සේවකයන්ට පැල සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගි වීම සඳහා ඉඩ සලසමින් ඇතැම් මහජන කාර්යාල වසා දැමීමටත් බලධාරීන් කටයුතු කර තිබිණි

වන විනාශයට තිත තබමින් පරිසරය රැක ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් පරපුර දැඩි උනන්දුවක් දක්වන බව සමාජ ජාල ඔස්සේ දැකිය හැක.

ඇතැම් තරුණ කණ්ඩායම් ඉන් නොනැවතී ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ තුළ අලුතින් පැල සිටුවීමේ ව්‍යාපෘති ද දියත් කර තිබේ.

මේ අතර දිනක් ඇතුලත පැල ලක්ෂ තුන්දහස් පන්සීයකට අධික සංඛ්‍යාවක් සිට වූ බව නිරන්තරයෙන් නියඟයට මුහුණ දෙන රටක් වන ඉතියෝපියාවෙන් වාර්තා වේ.

එරට බලධාරීන් විශ්වාස කරන පරිදි එය ලෝක වාර්තාවකි.

එම ව්‍යාපෘතියට නායකත්වය දෙන්නේ ඉතියෝපියාවේ අගමැති අබි අහමඩ්ය (Abiy Ahmed). වන විනාශයේ සහ දේශගුණ විපර්යාසවල බලපෑම මැඩපැවැත්වීම එම ව්‍යාපෘතියේ අරමුණය.

රජයේ සේවකයන්ට පැල සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගී වීම සඳහා ඉඩ සලසමින් ඇතැම් මහජන කාර්යාල වසා දැමීමටත් බලධාරීන් කටයුතු කර තිබිණි.

Abiy Ahmed planting a tree
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති අබි අහමඩ් ද පැල සිටුවීමේ ව්‍යාපෘතියට එක් විය

විසි වෙනි ශතවර්ෂයේ මුල භාගයේ දී සම්පූර්ණ භූමියෙන් 35% වූ ඉතියෝපියාවේ වන වගාව 2000 වසරින් පසු 4% දක්වා අඩු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

'හරිත උරුමයකට මුලපිරීම' යන මැයෙන් ආරම්භ කළ අගමැති අබි අහමඩ්ගේ රුක් රෝපණ ව්‍යාපෘතිය රටපුරා ස්ථාන දහසක දී ක්‍රියාවට නැංවිණි.

ස්වේච්ඡා කණ්ඩායම් විසින් රෝපණය කරන ලද කුඩා පැල ගණන් කිරීම නිලධාරීන් අතින් සිදු වූ බව එහි සිටින බීබීසී වාර්තාකරු Kalkidan Yibeltal පවසයි.

පැය දොළහක් ඇතුලත පැල ලක්ෂ තුන්දහස් පන්සීයකට අධික සංඛ්‍යාවක් රෝපණය කළ බව නව නිර්මාණ සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය ගෙටහුන් මෙකුරියා Getahun Mekuria නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් විය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

රට පුරා දේශීය පැල කෝටි 400 ක් සිටුවීම ව්‍යාපෘතියේ අරමුණය.

රුක් රෝපණය සහ ඒවා රැක ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලමින් රජයේ මාධ්‍ය ප්‍රචාරණ වීඩියෝ විකාශය කළ බවත් බීබීසී වාර්තාකරු පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, අප්‍රිකානු සංගමය සහ විදෙස් තානාපති කාර්යාල සේවකයන් සහ නියෝජිතයන් ද රුක් රෝපණ ව්‍යාපෘතියට එක්ව සිටියහ.

Tree planting exercise
ඡායාරූප ශීර්ෂ වැකිය, රට පුරා දේශීය පැල ලක්ෂ දහසක් සිටුවීම ව්‍යාපෘතියේ අරමුණයි

එක් දිනක් තුළ වැඩි වශයෙන්ම පැල සිටුවීමේ වාර්තාවට දැනට හිමිකම් කියන්නේ ඉන්දියාවය. 2016 වසරේදී ස්වේච්ඡා සාමාජිකයන් අට ලක්ෂයක් යොදා ගනිමින් පැල ලක්ෂ පන්සීයකට වැඩි ප්‍රමාණයක් සිටුවීමට ඉන්දියාව කටයුතු කර තිබිණි.

මේ අතර විවේචකයන් පවසන්නේ ලක්ෂ විසිපහකට අසන්න සංඛ්‍යාවකට තම වාසස්ථාන හැර පළා යාමට හේතු වූ වාර්ගික ගැටුම් ඇතුළු ආණ්ඩුව මුහුණ දී ඇති අභියෝග පිළිබඳ මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා අගමැතිවරයා රුක් රෝපණ ව්‍යාපෘතිය යොදා ගන්නා බවය.