ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැද පෙරදිග උණුසුම: භාණ්ඩ ප්‍රවාහන නැව් ආරක්ෂාවට ඇමෙරිකාව සහය ඉල්ලයි
මැද පෙරදිග ඉරානය සහ යේමනය අතර මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානයක් ස්ථාපනය කිරීමට ඇමෙරිකාවට අවශ්‍ය වී තිබේ.
ඇමෙරිකාවේ මරීන් බලකායේ ජෙනරල් ජෝසෆ් ඩන්ෆර්ඩ් පැවසුවේ, අත්‍යවශ්‍ය වෙළෙඳ මුහුදු මාර්ග සහිත එම කලාපයේ "නාවික ගමනා ගමන නිදහස තහවුරු කිරීමට" තමන්ට අවශ්‍ය බවය.
පසුගිය මාසයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම කළේ ඉරානයේ සහය ලබන ප්‍රහාරකයින් බවට ඇමෙරිකාව චෝදනා කළේය.
ජෙනරල් ජෝසෆ් ඩන්ෆර්ඩ් සඳහන් කළේ, සිය සැලසුමට සහය දීමට "දේශපාලනික වශයෙන් කැමැත්තක් දක්වන" රටවල් රැසක් සමග ඇමෙරිකාව සාකච්ඡා කළ බවය.
යෝජිත වැඩපිළිවෙළ යටතේ ඇමෙරිකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවල "අණදීම් සහ පාලනය" සිදු කරන අතර, අදාළ නෞකා අතර ජංගම මුර සංචාර සඳහා බෝට්ටු සැපයීම අනෙක් රටවලින් අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
ජෙනරල් ඩන්ෆර්ඩ් ප්‍රකාශ කළේ, "සහය දෙන සෑම රටකට ම ඇති විශේෂ හැකියාවන් හඳුනාගැනීම සඳහා එම රටවල ආරක්ෂක අංශ සමග ඇමෙරිකාව ඍජුව කටයුතු කරන" බවය. "එම ක්‍රියාන්විතයට සෑම රටක් ම සහය දිය යුතුය."
හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල්-මන්ඩාබ් යන මුහුදු කලාප අත්‍යවශ්‍ය මුහුදු කලාප ලෙස සැලකේ. මුහුදේ සිට ගල්ෆ් කලාපයට සහ රතු මුහුදට ඇතුළු වන නෞකාවල ප්‍රවේශ මාර්ගය ඒ හරහා වැටී තිබේ.
ජෝසෆ් ඩන්ෆර්ඩ් පැවසුවේ, සහය දෙන රටවල් සංඛ්‍යාව අනුව මෙම ක්‍රියාන්විතයේ පරිමාණය තීරණය වන බවය.
"රටවල් කිහිපයක් පමණක් දායක වුණොත් අපිට කරන්න වෙන්නේ සුළු මෙහෙයුමක්. ඒ සඳහා සම්බන්ධ වන රටවල් ගණන අනුව එය පුළුල් කරනවා."
දිනපතා ඉන්ධන බැරල් මිලියන 4ක් පමණ බාබ් අල්-මන්ඩාබ් හරහා ලෝකයේ සෙසු රටවල් වෙත ප්‍රවාහනය කෙරේ.
ඇමෙරිකාව නෞකාවල ආරක්ෂාව පිළිබඳව මෙතරම් වෙහෙසෙන්නේ ඇයි?
ජූනි මාසයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉන්ධන නෞකා දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව ඉරානයට චෝදනා කළේය. එහෙත්, එම චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළේය.
ඉන් දින කිහිපයකට පසු ගල්ෆ් කලාපයේදී ඉරානය ඇමෙරිකානු ඩ්‍රෝන යානයකට පහර දී බිම හෙළීය.
ඩ්‍රෝන යානය බිම හෙළීමෙන් පසු ඉරානය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබා දී පසුව එම තීන්දුව වෙනස් කෙරුණ ද ඇමෙරිකාව විසින් ඉරාන අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම නිසා එරට ඉන්ධන වෙනත් රටවලට අපනයනය කිරීමට ඉඩ නොලැබෙන්නේ නම් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය අනතුරු අඟවා තිබිණි.
ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන නැවත සාකච්ඡා කිරීමට එකඟ නොවන්නේ නම් තෙල් අපනයනයට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළේය.
මේ අතර, ජූනි මාසයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කළ බවට බ්‍රිතාන්‍යය ඉරානයට චෝදනා කිරීමත් සමග ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර ද උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී.
මේ අතර, යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝණය කරමින් සිරියාව වෙත යාත්‍රා කරමින් පැවති බවට ලැබී තිබූ තොරතුරු මත පසුගිය සතියේදී ඉරානයට අයත් ඉන්ධන නෞකාවක් ග්‍රහණයට ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය මරීන් භටයින් ජිබ්‍රාල්ටර් දූපත්හි (Gibraltar) බලධාරීන්ට සහය වී තිබිණි.
ස්පාඤ්ඤයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, ග්‍රේස් 1 (Grace 1) නමැති අදාළ නෞකාව ඇමෙරිකාවේ ඉල්ලීම මත රඳවා ගත් බවය.
මෙම තත්ත්වය ද ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර අර්බුදකාරී තත්ත්වය වර්ධනය වීමට බලපෑවේය.
තවදුරටත් කියවන්න.