ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හොංකොං: විරෝධතාකරුවන් "නීතිය පාගා දමා" ඇති බවට චීනයෙන් චෝදනාවක්
උද්ඝෝෂකයන් හොංකොං පාර්ලිමේන්තුවට අලාභහානි කිරීම, "නීතිය පාගා දැමීමක්" ලෙස චීනය හඳුන්වයි.
සඳුදා (ජුලි 01) පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අලාභහානි කිරීම මගින් උද්ඝෝෂකයන් "බරපතල නීතිවිරෝධී ක්‍රියාවක" යෙදී ඇති බවට ද චීනය චෝදනා කරයි.
පැය කිහිපයක සාමකාමී උද්ඝෝෂණයකින් ඉවතට පැමිණි ක්‍රියාධරයන් කණ්ඩායමක් ව්‍යවස්ථාදායක කවුන්සිල ගොඩනැගිල්ල තුළ පැය කිහිපයක් රැඳී සිටියහ.
ගොඩනැගිල්ලෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිය ගණනක් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.
"අපරාධකරුවන්" පිළිබඳ වහා පරීක්ෂණ සිදු කරන ලෙස චීනය, හොංකොං පාලනයෙන් ඉල්ලා ඇත.
හොංකොං කලාපයේ සැකකරුවන් චීනය වෙත භාර දීමට අවශ්‍ය නෛතික ඉඩකඩ ලබා දෙමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත්වීමත් සමග හොංකොංහි උද්ඝෝෂණ ආරම්භ විය.
චූදිතයන් චීනයට ගෙන යාමට අවසර ලැබෙන නව පනත් කෙටුම්පත හොංකොංහි දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමට යොදා ගැනීමට ඉඩ ඇතැයි විවේචකයෝ පවසති.
මහජන විරෝධය හමුවේ ඉහත කී පනත අත්හිටුවීමට හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම් පසුගිය ජුනි මස කටයුතු කළාය.
අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට මේ වනවිට අඩු ඉඩක් පැවතියත් එය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බවට බල කරන උද්ඝෝෂකයෝ හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන මෙන් ඉල්ලා සිටිති.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් චීනය පළ කළ අදහසට සමාන අදහසක් පළ කරන හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම් විසින් එය හඳුන්වනු ලැබුවේ "ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස භාවිත කිරීමක්" ලෙසය.
එය හෙළා දකින බවත් ඇය කියා සිටියාය.
සඳුදා සිදු වූයේ කුමක්ද?
1997 වසරේදී බ්‍රිතාන්‍යය විසින් හොංකොං දූපත චීනයට පවරා දෙනු ලැබුණු අතර එම සංවත්සරය සඳුදාට යෙදී තිබිණි.
එය සිහි කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට සහාය පතා වාර්ෂිකව පා ගමනක් පැවැත්වෙන අතර මේ වසරේදී ඒ සඳහා වෙනත් වසරවලට සාපේක්ෂව විශාල පිරිසක් සහභාගි වනු ඇති බවට බලාපොරොත්තු පළ විය.
හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම් වාර්ෂිකව සිදු කෙරෙන ධජය එසේ වීමේ උත්සවයට සහභාගි වෙමින් සිටියදී උද්ඝෝෂකයන් විසින් ඒ අවට වීදි අහුරා දැමීමත් සමග ගුටිබැට හුවමාරු වාර්තා විය.
මධ්‍යහනයේ ප්‍රධාන විරෝධතාවෙන් වෙන් වූ උද්ඝෝෂකයන් කණ්ඩායමක් ව්‍යවස්ථාදායක කවුන්සිලය වෙත ගමන් කළහ.
ඔවුහු අදාළ ගොඩනැගිල්ලට ඇතුළු වී එහි තිබූ හොංකොං නිල ලාංජනය වෙනුවට පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත ධජය එසවූ අතර බිත්ති පුරා ඔවුන්ගේ පණිවුඩ පින්තාරු කරමින් ගෘහභාණ්ඩවලට හානි කළහ.
මධ්‍යම රාත්‍රිය ආසන්නය වන විට ගොඩනැගිල්ලෙන් පිටත සිටි උද්ඝෝෂකයෝ ප්ලාස්ටි ආරක්ෂක හිස්වැසුම් (හෙල්මට්) පැළඳ කුඩ ලෙළවමින් සිය විරෝධය පළ කළ අතර පොලිස් බැටන් ප්‍රහාර හමුවේ ඔවුහු පසුබැසීය.
පැයක් ඇතුළත ගොඩනැගිල්ල අවට සිටි විරෝධතාකරුවන් ඉවත් කෙරුණු අතර එහි ඉතිරිව සිටියේ මාධ්‍යවේදීන් සහ පොලිසිය පමණි.
අලුත් පනතේ පසුබිම?
සැකකරුවන් චීනයට භාර දීමට ඉඩ ලැබෙන ඉහත කී නීතිය කෙටුම්පත් කරන ලද්දේ තායිවානයේ දී සිදු කරන ලද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සැක කෙරෙන තරුණයෙක් හොංකොං කරා පළාවිත් නීතියෙන් බේරී සිටීමට තැත් කිරීමේ සිද්ධියකින් අනතුරුවය.
එම හොංකොං දූපත්වාසී දහනව හැවිරිදි තරුණයා, පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සිය විසි හැවිරිදි ගර්භණී පෙම්වතිය සමග තායිවානයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇය මරා දමා පසුව හොංකොං දූපතට පළා විත් ඇති බව පැවසේ.
සැකකරු තමන්ට භාර දෙන මෙන් තායිවාන් බලධාරීන් ඉල්ලා සිටින නමුත්, එවැනි භාර දීමක් සඳහා තායිවානය සහ තමන් අතර ගිවිසුමක් නොමැති බව හොංකොං බලධාරීහු ප්‍රකාශ කළහ.
එවැනි අවස්ථාවන්හි දී සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා එවැනි "ඉල්ලා සිටින පුද්ගලයන් වෙනත් රටකට භාර දීමට" අවසර ලැබෙන යෝජිත නීතිය වැනි නෛතික රාමුවක් වේනම්, අපරාධකරුවන්ට තම දිවයින ක්‍ෂේමභූමියක් නොවනු ඇතැයි හොංකොං ආණ්ඩුව තර්ක කරයි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං දූපත, මහජන චීන පාලනයට භාර දීමෙන් අනතුරුව "එක රටක් -ක්‍රම දෙකක්" (one country, two systems) යන මූලධර්මය යටතේ ස්වයංපාලන බලයක් සහිත විශේෂ චීන කලාපයක් ලෙස පාලනය කෙරෙයි.
දූපත තුළ ඊට අවේණික නීති සංග්‍රහයක් පවතින අතර, අනිත් අතින් චීනයේ ප්‍රධාන භූමියේ පවතින තත්ත්වයට වඩා වැඩි නිදහසක් හොංකොං වැසියෝ භුක්ති විඳිති.