අන්තර්ජාලය අවහිර කිරීමට එරෙහි ඉතියෝපියානු මහජන විරෝධය

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙටි පණිවුඩ සේවා ඉතියෝපියානු තරුණ තරුණියන් අතර ජනප්‍රිය ය

කිසිදු හේතුවක් නොදක්වා ඉතියෝපියාව තුළ කෙටි පණිවුඩ සේවාවන් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

මෙම පියවර පසුගිය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වේ.

'ටෙලිග්‍රෑම්' නම් කෙටි පණිවුඩ සේවාව තරුණ ඉතියෝපියානුවන් අතර ජනප්‍රිය අංගයක්ව ඇත.

මේ අතර පසුගිය අඟහරුවාදා රට තුළ අන්තර්ජාලය ද තාවකාලිකව අවහිර කෙරුණු අතර බොහෝ ප්‍රදේශහි එය යථාතත්ත්වයට පත් කර නොමැත.

මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම ඉතියෝපියාවේ එක ම විදුලි සංදේශ සේවා පහසුකම් සපයන්නා වන 'ඉතියෝ ටෙලිකොම්' ආයතනය ප්‍රතික්ෂේප කරයි.

ඉතියෝපියාවේ මේ දිනවල පාසල් විභාග පැවැත්වෙන අතර, සමහරු පවසන්නේ එම නිසා අන්තර්ජාල සේවාවන් අවහිර කර ඇති බවය.

එය 'විභාග වංචා වළක්වා ගැනීමට' ගෙන ඇති පියවරක් ලෙස ද සමහරු දකිති.

2016 සහ 2017 වසරවල ද රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන අවස්ථාවේ විභාග ප්‍රශ්න පිටවීම වැළැක්වීමට යයි පවසමින් රට තුළ අන්තර්ජාල අවහිර කෙරිණි.

නමුත් පසුගිය වසරේ බලයට පැමිණි ප්‍රතිසංස්කරණශීලී අගමැති අබියි අහමඩ්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දුන් අතර වෙබ් අඩවි තහනම ඉවත් කළේය.

ඔහු බලයට පැමිණීමෙන් පසු මෙවැනි අවහිරයක් පැනවුණු පළමු අවස්ථාව මෙයයි. නිල වශයෙන් රජය ඊට හේතු නොදක්වන බැවින් එය පෙර පැවති තත්ත්වය මතකයට නැගීමක් වැනිය.

2005දී ද ගැටලුසහගත මැතිවරණයකින් අනතුරුව කෙටි පණිවුඩ සේවාවන් වසර දෙකක් පමණ කාලයක් අවහිර කර තිබිණි.

නමුත් මෙවර කෙටි පණිවුඩ සේවාව අවහිර කරන ලද්දේ සිසුන් හතර දෙනෙක් විභාගය අතරතුරදී වංචා කර හසුවීමෙන් අනතුරුවය.

මෙම අවහිර කිරීම රට පුරා පැවැත්වෙන විභාග හා සම්බන්ධ නම් එය බදාදා (ජුනි 19) වන විට යථා තත්ත්වයට පත් විය යුතුය.

ඉතියෝපියාවේ මෙවර විභාග අඟහරුවාදා නිම වීමට නියමිතය.

නමුත් විභාග නොපැවැත්වුණ ද සති අන්තය තුළත් කෙටි පණිවුඩ සේවාවන් සක්‍රීය නොකිරීම ගැන ජනතාව ප්‍රශ්න කරති.

පසුගිය සතිය පුරා අන්තර්ජාලය රාත්‍රියට පමණක් විටින් විට සක්‍රීය කෙරුණු අතර, අඩිස් අබාබා අගනුවර එය සිකුරාදා සවස් වරුවේ සිට ක්‍රියාත්මක වේ.

නමුත් වෙනත් නගරවල අන්තර්ජාල පහසුකම් තවමත් සක්‍රීය කර නොමැත.

අන්තර්ජාලය අවහිර කිරීම නිසා ඉතියෝපියානු ව්‍යාපාරිකයෝ අපහසුතාවන්ට මුහුණ දෙති. එය ඔවුන්ගේ දෛනික ආදායමට දැඩි ලෙස බලපා ඇත.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙටි පණිවුඩ මගින් තොරතුරු ලබා ගන්නා ගොවියෙක්

අන්තර්ජාලයට පිවිසීමට ඇති නිදහස ගැන අධීක්ෂණය කරන සංවිධානයක් වන 'නෙබ්ලොක්ස්' පවසන්නේ, ඉතියෝපියාව තුළ එක් දිනක් අන්තර්ජාලය අවහිර කළහොත් එමගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බවය.

මෙවැනි අවහිර කිරීම් තුළින් ආයෝජකයන්ගේ විශ්වාසය පිරිහෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

අප්‍රිකානු මහාද්වීපයේ දෙවැනි විශාලතම ජනගහනය සහිත රට වන ඉතියෝපියාවේ විදුලි සංදේශ සේවාව සම්පුර්ණයෙන්ම පාලනය වන්නේ රාජ්‍ය අංශය මගිනි.

එබැවින් ඉතියෝපියානු පාර්ලිමේන්තුව, විදේශ ආයෝජකයන්ට ද එම අංශයට සහභාගී විය හැකි වන අරිදී පසුගිය සතියේ නව නීති සම්මත කර තිබේ.

කියවන්න: