ව්‍යාජ පුවත්: සිංගප්පූරුව ආන්දෝලනාත්මක පනතක් සම්මත කරයි

ඡායාරූප මූලාශ්‍රය, NEO CHEE WEI/GETTY IMAGES
අන්තර්ජාලයේ විවිධ මත ඉදිරිපත් කරන වෙබ් අඩවි සහ පෞද්ගලික අදහස් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වේදිකා (online platforms) ද තහනම් කළ හැකි පරිදි බලය පැවරෙන ව්‍යාජ පුවත්වලට එරෙහි ආන්දෝලනාත්මක නීතියක් සම්මත කිරීමට සිංගප්පූරුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, "පොදු යහපතට එරෙහි" වැරදි ප්‍රකාශ ඉවත් කිරීමට සඳහා නියෝග දීමටත් නිවැරදි පුවත පළ කිරීම සඳහා නියෝග දීමටත් සිංගප්පූරු රජයට හැකියාව ලැබේ.
බලධාරීන් පවසන්නේ, ව්‍යාජ පුවත්වලින් පුරවැසියන් ආරක්ෂා කිරීමට මෙම පනතෙන් හැකි වන බවය.
එහෙත්, විවේචකයින් පවසන්නේ එය සිවිල් නිදහසට බරපතළ තර්ජනයක් බවය.

ඡායාරූප මූලාශ්‍රය, CHESNOT/GETTY IMAGES
ඇතැම් ආරක්ෂිත ඇප් (encrypted apps) සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද පැහැදිලි බවක් නොමැත.
අන්තර්ජාල වැරදි සහ වැරදි භාවිතයන්ගෙන් ආරක්ෂා වීමේ පනත (The Protection from Online Falsehoods and Manipulation bill) බදාදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එය ඉදිරි සති කිහිපය තුළදී බලාත්මක වනු ඇත.
සිංගප්පූරු රජය අවධාරණය කර ඇත්තේ, යම් හානියක් විය හැකි වැරදි සම්බන්ධයෙන් මිස පුද්ගල මතවලට බාධා පැමිණවීමට මෙම පනත යොදා නොගන්නා බවය.
"භාෂණයේ නිදහසට මේ පනත බලපෑමක් වෙන්නේ නෑ," නීති කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, වැරදි පුවත්, ප්‍රකෝපකාරී අදහස් සහ ව්‍යාජ ගිණුම් අවහිර කිරීම මෙම නීතිය පැනවීමේ අරමුණ වන බවය.
නීතියෙන් ආවරණය වන ක්ෂේත්‍රය
පොදු යහපතට එරෙහි වන ආකාරයේ වැරදි ප්‍රකාශයක් බවට රජය තීරණය කළහොත් එය තහනම් කිරීමට හැකියාව තිබේ. යමෙකු සිංගප්පූරුව තුළදී එවැනි වරදක් කළ බවට තහවුරු වුවහොත් විශාල මූල්‍ය දඩයකට සහ/හෝ වසර 5ක් දක්වා සිර දඬුවමකට ලක් වීමට සිදුවේ.
එම නීතිය මගින් ව්‍යාජ ගිණුම් සහ ස්වයංක්‍රීය ආකාරයෙන් ව්‍යාජ පුවත් ව්‍යාප්ත කිරීම තහනම් කර ඇත. ඒ සඳහා සිංගප්පූරු ඩොලර් මිලියනයක් දක්වා දඩ මුදලක් ද වසර 10ක සිර දඬුවම් ද පැනවිය හැක.
මෙම නීතිය සමාජ මාධ්‍යවල සිට ප්‍රවෘත්ති වෙබ් අඩවි දක්වා ක්‍රියාත්මක වේ. රජයේ නියෝග නොපිළිපැදීම හෝ වැරදි නිවැරදි නොකිරීම හෝ කළ අවස්ථාවකදී දඬුවම්වලට ලක් වීමට ද ඔවුන්ට සිදු වනු ඇත.
හියුමන් රයිට්ස් වොච්හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ෆිල් රොබර්ට්සන් බීබීසී පුවත් සේවයට පැවසුවේ, පෞද්ගලික සංවාද නිරීක්ෂණය කිරීමට සිංගප්පූරු රජය ඉදිරිපත් කර ඇති අදහස "අවංකව ම පිස්සු වැඩක්" බවය.
"මේක ඒකාධිපති ආකාරයේ පාලන ව්‍යාපෘතියක්. මේක භාෂණයේ නිදහසට එල්ල වන සෘජු තර්ජනයක්. සමස්ත ලෝකය ම මේ ගැන අවධානය යොමු කළ යුතුයි."
තවදුරටත් කියවන්න:








