ලෝකයේ කිතුනු බැතිමතුන්ට එරෙහි පීඩාව "සමූලඝාතනය කෙරෙන මට්ටමක" - වාර්තාවක්

ලොව පුරා වෙසෙන ක්‍රිස්තියානි භක්තිකයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල කෙරෙන හිරිහැර මගින් ඔවුන් "සමූලඝාතනය" කෙරෙන තරම් අවදානම් සහගත තත්වයක් පවතින බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජෙරමි හන්ට්ගේ නියෝගයක් අනුව සැකසුණ වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යයේ 'ට්රුරෝ' ප්‍රදේශයේ රදගුරු අති උතුම් පිලිප් මවුන්ස්ටීවන්ගේ නායකත්වයෙන් සිදු කෙරුණ අධීක්ෂණයක දී ඇස්තමේන්තු කර ඇත්තේ සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආගමික හිරිහැරවලට ලක්වන බවය.

ඒ අතරින් වැඩිම හිරිහැරයට ලක්වන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් බව ද වාර්තාවේ දැක්වේ.

"දේශපාලන නිරවද්‍යතාව" රඳවා ගැනීමට දරණ උත්සාහය හේතුවෙන් මෙතෙක් ඉහත කී තත්වය සම්බන්ධයෙන් අභියෝග එල්ල කර නොමැති බව විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසා ඇත.

"ක්‍රිස්තියානි භක්තිකයන් සමූලඝාතනය කිරීමේ ක්‍රියාවලියක" ප්‍රතිඵලයක් ලෙසින්, ඇතැම් මැද පෙරදිග රටවලින් ඔවුන් "මකා දැමීමක් " සිදුවෙමින් පවතින බව මේ අතර අතුරු වාර්තාවක දැක්වෙයි.

මෙතෙක් ලැබී තිබෙන දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ ක්‍රිස්තියානි ධර්මය ලෝකයේ සමහර රටවලින් "සම්පූර්ණයෙන්ම නැති වී යාමේ" අවදානමක් පවතින බවය.

පලස්තීනය තුළ ක්‍රිස්තියානි භක්තිකයන් සිටින්නේ එරට ජනගහනයෙන් 1.5% කට අඩුවෙනි.

2003 වර්ෂයේ ඉරාකයෙන් ක්‍රිස්තියානි භක්තිකයන් ලක්ෂ පහළොවක් වාර්තා වුවත් මේ වන විට එය 120,000 ක් තරම් පහළ වැටී තිබේ.

"භූගෝලීය වශයෙන් ක්‍රිස්තියානි ආගමට එල්ලවන පීඩනය පමණක් නොව එල්ල වෙමින් පවතින හිරිහැරවල දරුණුකම ගැනත් සාක්ෂි තිබෙනවා," යැයි රදගුරු අති උතුම් පිලිප් මවුන්ස්ටීවන් සඳහන් කරයි.

"සමූලඝාතනය යන්න එක්සත් ජාතීන්ගේ සංගමය විසින් නිර්වචනය කරනු ලැබ ඇති ආකාරයට ආසන්න මට්ටමක පීඩනයක් සමහර කලාපවල දැකගත හැකියි," යනුවෙන් කිතුනු ආගමික නායකයා වැඩිදුරටත් පවසයි.

2018 වසරේ පාකිස්තානයේ ක්‍රිස්තියානි කාන්තාවක් ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ඇයට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය කෙරෙහිද අවධානය යොමු කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ඉල්ලා සිටියි.

පුද්ගලයන් 250කට අධික ප්‍රමාණයකට මරු කැඳවමින් තවත් පන්සිය දෙනෙකුට පමණ තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ එල්ල කෙරුණ ප්‍රහාරයෙන් පසුව ඉහත කී වාර්තාව සැකසීමට අදාළ අධීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

ක්‍රිස්තියානි භක්තිකයන්ට සිදුවන හිරිහැර හමුවේ ලොව වටා රටවල ආණ්ඩු "නිද්‍රාශීලී" පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි තමන් සිතන බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පවසයි.

"නමුත් ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර සහ මේ වාර්තාව මගින් හැමෝම දැඩි කම්පනයකට පත් කර අවදි කර තිබෙනවා," ඔහු පෙන්වා දෙයි.

"ඒ වගේම මම හිතනවා - යටත්විජිත සමයේ අපි යටත්විජිතවාදීන් ලෙස අල්ලා ගත් රටවල් ගැන කතා නොකර, ඒවාට රැගෙන ගිය ආගම ගැන කතා කිරීම නිසා යටත්විජිතවාදියකු ලෙස හැඳින්වීමේ වැරදි ආකල්පයක් තිබෙන බව," යැයි විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

'දේශපාලන නිරවද්‍යතාව'

"මේ ප්‍රශ්නය ගැන කතා කරන විට නිරන්තරයෙන් යම් නුහුරු බවක් ඉස්මතු වෙනවා. මිෂනාරි ක්‍රියාකාරකම් මතභේදාත්මකයි. සමහර පුද්ගලයන් මේ මාතෘකාව ගැන කතා කිරීම මග හැරීමට එය හේතුවක් බව, මම හිතනවා." ඔහු සඳහන් කරයි.

"දේශපාලන නිරවද්‍යතාව පවත්වා ගැනීම තුළ අපට අමතක වී ගිය දෙයක් තමයි, වධහිංසාවලට මුහුණ දෙන මේ ක්‍රිස්තියානි භක්තිකයන් ලෝකයේ සිටින දුප්පත්ම ජන කොටසක් බව."

ඉදිරි මාස කීපය තුළ සිදු කිරීමට නියමිත අවසාන අධීක්ෂණ කටයුතුවලින් පසු අදාළ සම්පූර්ණ වාර්තාව එළිදැක්වීමට නියමිතය.

මේ තොරතුරුද කියවන්න: