ශමීමා බෙගම්: බංග්ලාදේශයට පැමිණියහොත් "මරණ දණ්ඩනයට යටත් කළ හැකියි"

ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එක්වීම සඳහා 2015 දී ලන්ඩන් නුවර සිට සිරියාවට පලා ගිය 19 හැවිදිරි ශමීමා බෙගම්, බංග්ලාදේශයට පැමිණියහොත් "ත්‍රස්තවාදයට හවුල් වීම යටතේ මරණ දණ්ඩනයට යටත් කළ හැකි" බව එරට විදේශ ඇමතිවරයා පවසයි.
බංග්ලාදේශයට ඇය සමග "කිසිදු සම්බන්ධතාවක් නොමැති" බව ද අමාත්‍ය අබ්දුල් මෝමන් (Abdul Momen) පැවසීය.
සිරියාවේ සරණාගත කඳවුරක දිවිගෙවන ඇය පසුගිය පෙබරවාරි මස නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට කැමැත්ත පළ කළාය. පසුව ඒ සඳහා ඉල්ලීමක් ද කළ නමුත් බ්‍රිතාන්‍ය රජය ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීමට පියවර ගන්නා ලදි.
බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් සජිඩ් ජාවිඩ් කියා සිටියේ "යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්" එම තැනැත්තා නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්විය හැකි බවය.
නමුත් ඇයගේ නීතීඥ තස්නිමේ අකුන්ජී පැවසුවේ බ්‍රිතාන්‍ය ස්වදේශී කටයුතු අමාත්‍යංශ තීරණයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවය.
කෙසේනමුත්, ශමීමාගේ මව බංගලාදේශ ජාතිකයෙක් වීම හේතුවෙන් ඇයට බංගලාදේශ පුරවැසිභාවය ලබා ගත හැකි බවට නීති විශේෂඥ මත ඉදිරිපත් විය.
ජාත්‍යන්තර නීතිය අනුව, යම් පුද්ගලයෙකුගේ පුරවැසිභාවය අහිමි කර ඔහු හෝ ඇය කිසිදු රටක පුරවැසිභාවයක් හිමි නැති කෙනෙකු බවට පත් කිරීම නීතිවිරෝධීය.

ඡායාරූප මූලාශ්‍රය, PA
"ශමීමා බේගම් කොහෙත්ම බංගලාදේශයේ ප්‍රශ්නයක් නෙමෙයි" යැයි නීතීඥ තස්නිම් අකුන්ජි පැවසීය.
"ඇය කවදාවත් බංගලාදේශයේ පුරවැසිභාවය ඉල්ලා නැහැ. ඇයගේ දෙමාපියන් බ්‍රිතාන්‍ය පුරවැසියන්."
"ඇය ගැන වගකීම ඇත්තේ බ්‍රිතාන්‍ය රජයට. ඔවුන් ඇය සමග කටයුතු කරන්න ඕනේ," ඔහු පැවසුවේය.
ඇය බංගලාදේශයට ගියහොත් ත්‍රස්තවාදයට එරෙහිව එරට පවතින දැඩි නීතිවලට යටත් වීමට සිදු වනු ඇතැයි නීතීඥවරයා තවදුරටත් පැවසුවේය.
"බංගලාදේශයේ නීතිය හරිම පැහැදිලියි. ත්‍රස්තවාදීන්ට මරණ දඬුවමට මුහුණ දෙන්න වෙනවා," ඔහු පැවසීය.
ශමීමා සිරියාවට පළා ගියත්, ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ බව මේ වන තෙක් ඇය පිළිගෙන නොමැත.
"බ්‍රිතාන්‍ය පුරවැසිභාවය නැති කිරීමෙන් සජිඩ් ජාවිඩ් සිදු කර ඇත්තේ ඇයව කුණු ගොඩට විසි කිරීමක්. අපේ ප්‍රශ්න වෙනත් රටවල්වලට විසි කිරීමක්," නීතීඥ තස්නිම් අකුන්ජී පැවසුවේය.
කවුද මේ ශමීමා?
මේ අතර, බංගලාදේශ විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබා නොදෙන අතර තමන් මුලින් සිදු කළ ප්‍රකාශයන්ට අමතර කරුණු එක් නොකරන බව ද බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශ බීබීසී වෙත පැවසීය.
සිය මිතුරියන් දෙදෙනෙකු සමග සිරියාවට පලා යද්දී ශමීමා පාසල් ශිෂ්‍යාවක් වූවාය. එම මිතුරියන් දෙදෙනා බෝම්බ ප්‍රහාරයකට හසු වී සිරියාවේ දී මරණයට පත් වූ බවද ශමීමා බෙගම් පවසන්නීය.
ඇය සිරියාවට ඇතුළුවීමෙන් පසු රකා නුවරට ගොස් තිබේ. ඉස්ලාමීය සටන්කරුවන් විවාහ කර ගැනීම සඳහා පැමිණි තවත් ගැහැණු ළමුන් තමා රැඳී සිටි නිවසේ සිටි බව ශමීමා ප්‍රකාශ කළාය.
"ඉංග්‍රීසි කතා කරන වයස අවුරුදු 20ත් 25ත් අතර සටන්කරුවෙක් විවාහ කර ගැනීම සඳහා මම ඉල්ලීමක් කළා," ඇය පැවසුවාය.
දින 10කට පසුව ඇය විවාහ වී ඇත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන සිටි ඕලන්ද ජාතිකයෙකු සමඟය. එවක් පටන් ඔහු සමඟ ඇය ජීවත් වී ඇත්තේ සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේය. එම ප්‍රදේශයේ පාලන බලය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයෙන් ගිලිහී යද්දී මෙම යුවළ ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත.
ඇයගේ සැමියා සිරියානු සටන් කණ්ඩායමකට යටත්වීමෙන් අනතුරුව ඇය සරණාගත කඳවුරකට පැමිණ තිබේ.
කඳවුරේ සිටිද්දී පෙබරවාරි මස ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට ඇය හමු වී තිබේ.
ඒ වන විට ඇය ගැබිණියකව සිටි අතර දරුවා ප්‍රසූත කිරීම සඳහා නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය බව ටයිම්ස් පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකදී පැවසීය.
බ්‍රිතාන්‍ය රජය ඇයගේ ඉල්ලීමට එරෙහිව දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය. එමෙන්ම, ශමීමාගේ ඉල්ලීමට එරෙහිව බ්‍රිතාන්‍යවාසීන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි මත පළ කර තිබිණ.
බ්‍රිතාන්‍යයේ ප්‍රතිචාරය
ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීමට තමන් "නොපැකිළෙන" බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා මීට ඉහතදී පැවසීය.
"ඇය නැවත පැමිණියොත් ප්‍රතිවිපාක විඳින්න වෙයි," ලේකම්වරයා තවදුරටත් පැවසුවේය.
ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් තමාගේ "මොළය සේදූ (brainwashed)" අතර තමන් "සිදු කළ සියල්ල ගැන පසුතැවෙන" බව ඇය කියා සිටියාය.
කෙසේනමුත්, සිරියාවට පලා යෑම සහ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එක්වීම පිළිබඳ පසුතැවිලි නොවන බව ද ඇය ප්‍රකාශ කරන්නීය.
කඳවුර තුළ සිටියදීම පුතෙකු බිහිකළ ඇය ඔහුට 'ජරාහ්' ලෙස නම් තැබීය. නමුත් ඉපදී සති තුනකට අඩු කාලයක දී නියුමෝනියාව වැළඳීමෙන් ඔහු මිය ගියේය.
මින් පෙර ද ඇයගේ දරුවන් දෙදෙනෙකු විවිධ හේතු නිසා මියගොස් ඇත.








