ඩොනල්ඩ් ට්‍රම්ප් "දඩයම": යුක්තියට බාධා කළා ද? පූර්ණ වාර්තාව ඉල්ලයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සහ රුසියානු බලධාරීන් අතර සමීප සම්බන්ධයක් පැවතියේද යන්න පිළිබඳව පැවැත්වුණු පරීක්ෂණයේ සම්පුර්ණ වාර්තාව කොන්ග්‍රස් සභාවට ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කොට තිබේ.

කොන්ග්‍රස් සභාවේ අධිකරණ කමිටුවේ සභාපති ජෙරී නැඩ්ලර් මෙම කැඳවීමේ නියෝගය නිකුත් කළේ අදාළ වාර්තාවේ සංක්‍ෂිප්ත පිටපතක් පමණක් සභාවට ලැබීමෙන් පසුවය.

ජනාධිපති ට්‍රම්ප් විසින් රුසියාව සමඟ එක් වී වංචාවක් කරනු ලැබ ඇතැයි ඔහුගේ පරීක්ෂණයෙන් ඔප්පු වී නැතත් එම පරීක්ෂණයට ඔහු බාධා පැමිණ වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළැඹ නැත.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බාධා කරන ලද බවට එල්ලවන චෝදනා පසුපස හඹා යමින් ඊට එරෙහිව ක්‍රියා කිරීමට ඔහුගේ ප්‍රතිවාදීහු ප්‍රතිඥා දෙති.

FBI හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබ තිබුණි. ඔහුගේ සංක්‍ෂිප්ත වාර්තාව එළිදැක්වුණේ බ්‍රහස්පතින්දා (අප්‍රේල් 18) ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම කියා සිටින්නේ සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස් වී ඇති බවය.

මෙම පරීක්ෂණයට අවහිර කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා කිහිප විටක් ම උත්සාහ දරා ඇති බවටත් පරීක්ෂණයේ ප්‍රධානියා වන රොබට් මුලර් ඉන් ඉවත් කිරීමට ඔහු උත්සාහ දැරූ බවටත් මෙම වාර්තාව කරුණු සපයයි.

පිටු 448කින් යුත් වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙරුණේ මාස 22ක් තිස්සේ පැවති පරීක්ෂණයකින් අනතුරුවය.

රාජ්‍ය අනුග්‍රහය සහිතව සමාජ ජාල තුළ ව්‍යාජ පුවත් සහ සයිබර් ප්‍රහාර එල්ල කරමින් 2016 වසරේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට අවාසි සහගත අයුරින් කටයුතු කිරීමේ තැත පිටුපස රුසියාව සිටි බව ඇමරිකානු බුද්ධි අංශවල නිගමනය වී තිබුණි.

රාජ්‍ය අනුමැතිය සහිත සයිබර් ප්‍රහාරයන් සහ සමාජ ජාලා මාධ්‍යයන්හි පළ කළ ව්‍යාජ පුවත් කතා ඔස්සේ රුසියාව 2016 මැතිවරණයේදී හිලරි ක්ලින්ටන්ට එරෙහිව කටයුතු කළ බව ඇමෙරිකානු බුද්ධි අංශ චෝදනා කළේය.

රුසියාව සමඟ කිසිදු දුස්සන්ධානයක් නොතිබුණු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කරන අතර ඒ පිළිබඳව පවතින විමර්ශනය ඔහු විසින් හඳුන්වනු ලබන්නේ "දඩයමක්" ලෙසිනි.

ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන නායකයෙකුට එරෙහිව දියත් වූ දැවැන්තම දඩයමට තමන් මුහුණ දෙමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීම සඳහා රුසියාවේ මැදිහත්වීමක් සිදු වූයේදැයි සොයා බැලීම සඳහා පැවැත්වෙන විමර්ශන වෙනතකට යොමු වෙමින් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව සොයා බැලීමට නැඹුරුවීම ප්‍රධාන හැරවුම් ලක්‍ෂයක් වනු ඇති බවට 'වොෂිංටන් පෝස්ට්' පුවත්පත කලකට පෙර සඳහන් කර තිබුණි.

මෙම විමර්ශන කටයුතු පිළිබඳව මාධ්‍යයට කරුණු අනාවරණය වීම අනුමත කළ නොහැකි බව ජනාධිපති ට්‍රම්ප් ගේ නීතිවේදීන් එවක පවසා තිබුණි.

රුසියාව සමඟ සබඳතා පවත්වාගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජෙයාඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහකර ඇති බව ඇමරිකානු මාධ්‍ය මීට ඉහත දී වාර්තා කර තිබුණි.

'වොෂිංටන් පොස්ට්' සහ 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් ප්‍රකාශ කර තිබුණේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් විසින් රහසින් සවන්දෙනු ලැබීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ජෙයාඩ් කුෂ්නර් ප්‍රයත්නයක් දැරූ බවය.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සහායකයෙකු ලෙස ධවල මන්දිරයට පත්වීමක් ලැබූ ජෙයාඩ් කුෂ්නර්, ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ සැමියා ය.