ඉන්දියාවේ මහ මැතිවරණය: ඔබ නොදන්නා කරුණු කිහිපයක්

ලොව සුවිශාලතම ජන්ද විමසීම ඉන්දීයාවේදී අද (අප්‍රේල් 11) ඇරඹෙයි.

එය ලෝක ඉතිහාසයේ සිදුවන සුවිශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ලෙස ද සැලකේ.

මිලියන 900ක් හෙවත් ලෝක ජනගහනයෙන් 10%ක් ජන්දය දීමට සුදුසුකම් ලබා ඇති බවට ඇස්තමේන්තුගත කර තිබේ.

එම ප්‍රමාණය දෙවන විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා සිව් ගුණයකට ආසන්නය.

බ්‍රිතාන්‍යයෙන් 1947 දී නිදහස ලැබීමෙන් අනතුරුව ඉන්දියාව තම ප්‍රථම මහ මැතිවරණය 1951-2 දී පැවැත්වීය.

මෙවර පැවැත්වෙන මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කර ගන්නා සේ ම හින්දු ජාතිකවාදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි තවත් වසර පහක් ඉන්දියාව පාලනය කරන්නේ ද යන්න තීරණය කෙරෙනු ඇත.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඉන්දීය කොංග්‍රසය නියෝජනය කරන රාහුල් ගාන්ධිය.

කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද එමගින් ලොව විශාල ම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයේ බලය ඔවුන්ට හිමි වනු ඇත.

ආර්ථිකය:

නරේන්ද්‍ර මෝඩි 2014 බලයට පැමිණියේ ආර්ථිකය ගැන පොරොන්දු රැසක් ලබා දෙමිනි.

නමුත් ඔහුගේ ප්‍රතිඵල මිශ්‍ර බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ඉන්දියාව මෑත කාලයේදී ආර්ථික වර්ධනය 7% හෝ ඊට ආසන්න මට්ටමේ පවත්වා ගෙන යෑමට සමත් වීම ඔහුට ඇති ධනාත්මක ප්‍රවණතාවකි.

ලෝක බැංකු තොරතුරු අනුව 2011 දී 21.6%ක්ව පැවති ඉන්දියාවේ දරිද්‍රතාව 2015 වන විට 13.4% ක් දක්වා අඩු වී ඇත.

ජන්දදායකයින්:

ඉන්දියාවේ වර්තමාන ජනගහනය බිලියන 1.34ක් ලෙස අනුමාන කෙරේ. ඉන් මිලියන 900ක් අද ආරම්භ වන මහ මැතිවරණයේදී ජන්දය භාවිත කිරීමට නියමිතය.

ඉන් මිලියන 83ක් ප්‍රථම වරට ජන්දය භාවිත කරන අය වෙති . ඒ අතරින් මිලියන 15ක් වයස අවුරුදු 18ත් 19ත් අතර යෞවනයෝ වෙති.

ජන්දය පැවැත්වෙන ආකාරය:

අප්‍රේල් 11 වන දා ඇරඹෙන මහ මැතිවරණය දින 39ක් හෝ ආසන්න වශයෙන් සති 6ක් පුරා පැවැත්වෙනු ඇත.

මිලියනයකට ආසන්න නිලධාරීන් පිරිසක් ජන්ද කටයුතු සඳහා සේවයේ යෙදවීමට නියමිතය.

ජන්ද ප්‍රතිඵල මැයි මස 23 වන දා නිකුත් කෙරෙන බව පැවසේ.

මහ මැතිවරණයෙන් ඉන්දියාවේ ලෝක් සභා නැතිනම් පහළ මන්ත්‍රී මණ්ඩලයට තෝරා පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව 573 කි. ඉන් ආසන 272ක් හිමි කර ගන්නා පක්ෂයට හෝ සන්ධානයට රටේ ආණ්ඩු බලය හිමි වේ.

2014 මහ මැතිවරණයේදී බීජේපී පක්ෂය ආසන 282ක් දිනා ගත්තේය.

කියවන්න: