ලෝක සතුටු වීමේ දිනය: සතුට ළඟා කර ගත හැකි සරල ක්‍රම පහක්

Happy faces

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මාර්තු 20 වන දා ලෝක සතුටු වීමේ දිනය ය. නමුත් ඔබට එසේ නොහැඟේ නම් ඒ පිළිබඳ කනගාටු නොවන්න. මන් ද, සතුටින් පිරි පුද්ගලයෙකු වන්නේ කෙසේ දැයි ඉගෙන ගැනීමට හැකි බැවිනි.

සංගීතඥයින්, ක්‍රීඩකයින් සාර්ථකත්වයට ළඟා වීම සඳහා නිරන්තරයෙන් අභ්‍යාසයන්හි යෙදෙන්නා සේම සතුටු වීමට ද ඔබ ඉගෙන ගත යුතුය.

"සතුටු වෙන එක ඉබේ සිද්ධ වෙන දෙයක් නොවෙයි, ඔබ ඒ සඳහා පුහුණු විය යුතුයි," ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ලෝරී සැන්ටෝස් පවසයි.

කියවන්න:

Laurie Santos

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ලෝරී සැන්ටෝස්

අප සිත් තුළ පවතින අඳුර පළවා හැරීම සම්බන්ධයෙන් මග පෙන්වීම සඳහා මහාචාර්ය ලෝරී සැන්ටෝස් සුදුසු ම අයෙකි. ඇය යේල් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ "මනෝ විද්‍යාව සහ යහපත් දිවිය" නමැති පාඨ මාලාව එම විශ්වවිද්‍යාලයේ වසර 317ක ඉතිහාසයේ වඩාත් ජනප්‍රිය එකක් විය. ඒ සඳහා සිසු සිසුවියන් 1200 දෙනෙකු ලියාපදිංචි වූ අතර එය වාර්තාවක් ද විය.

"සතුටින් ඉන්න යම් මානසික උත්සහයක් අවශ්‍ය බව විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ඒක ලේසි දෙයක් නෙවේ," ලෝරී සැන්ටෝස් පවසයි. එහෙත්, එය කළ නොහැක්කක් නොවේ.

මහාචාර්යවරිය පවසන පරිදි, සතුටින් සිටීමට අවශ්‍ය නම් ආරම්භ කළ යුතු අභ්‍යාස 5 ක් පහත දැක්වේ.

1. ස්තුති කළ යුත්තන්ගේ ලේඛනයක් සකස් කිරීම

A smiling, young, bearded man in eyeglasses and yellow shirt holding hands up in feeling of happiness and gratitude - blue background.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සතියක් පුරා සෑම රාත්‍රියක ම ස්තුති කළ යුතු පුද්ගලයින්ගේ ලේඛනයක් සකස් කරන ලෙස මහාචාර්ය ලෝරී සැන්ටෝස් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටී.

එය ස්තුති කළ යුත්තන්ගේ ලේඛනය වනු ඇත.

"මේක සරල දෙයක් කියලයි පේන්නේ, නමුත් මේ අභ්‍යාසය නිරන්තරයෙන් කරන සිසුන් සතුටට පත් වන බව අපි දැකලා තියෙනවා," ඇය පැවසීය.

2. වැඩිපුර සහ හොඳින් නිදා ගැනීම

Young woman in a blue coat sleeping on a meadow

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සතියක් පුරා දිනපතා රාත්‍රී කාලයේ පැය 8ක් නිදා ගැනීම අභියෝගයකි.

මහාචාර්යවරිය පවසන පරිදි, ඉටු කර ගැනීමට දුෂ්කර ම අභ්‍යාසය වන්නේ, මෙයයි.

"මේක මෝඩ වැඩක් වගේ පේන්න පුළුවන්. ඒත්, වැඩි වේලාවක් නිදා ගැනීමෙන් විෂාදයෙන් (Depression) මිදෙන්න වගේ ම ධනාත්මක ආකල්ප වැඩි කර ගන්නත් පුළුවන් බව අපි දන්න දෙයක්."

3. භාවනාව

Young woman meditating on a sofa at home, plants on the background and a big, light, window to her left

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සෑම දිනක ම මිනිත්තු 10ක් භාවනාවේ යෙදෙන්න. භාවනාව යනු හිත එකඟ කර ගැනීමයි.

ලෝරී සැන්ටෝස් පවසන්නේ, තමන් අධ්‍යාපනය ලැබූ කාලයේ නිරන්තරයෙන් භාවනාවේ යෙදීම නිසා ඇයට වඩාත් පහසුවක් දැනුණු බවය.

ඇය මේ වන විට මහාචාර්යවරියකි. භාවනාවේ යෙදීම සහ වෙනත් ක්‍රියාකාරකම් මගින් යම් කාර්යයක් සඳහා පූර්ණ අවධානය යොමු කළ හැකි ආකාරය ඇය සිය සිසු සිසුවියන්ට පෙන්වා දෙයි. එමගින් වඩාත් සතුටට පත් විය හැකි බව ඇය පවසයි.

4. පවුලේ සාමාජිකයන් සහ මිතුරු මිතුරියන් සමග කාලය ගත කිරීම

A father and a child, camping, admiring the starry night sky

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මචාර්ය සැන්ටෝස් පවසන්නේ, මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමග ගුණාත්මක කාලයක් වැය කිරීම මගින් වැඩි සතුටක් ලැබිය හැකි බව පර්යේෂණවලින් හෙළි වී ඇති බවය.

ප්‍රියයන් සමග කාලය ගත කිරීම හෝ "සාර්ථක අන්තර් පුද්ගල සබඳතා සහ සමාජ සබඳතා" පවත්වාගෙන යාමෙන් යහපත් දිවි පෙවෙත වර්ධනය වනු ඇත.

එය බරපතළ දෙයක් නොවන බව ලෝරී සැන්ටෝස් පෙන්වා දෙයි. "ඔබ මේ මොහොතේ සතුටින් ඉන්නවා ද කියන එක තහවුරු කර ගන්න. ඔබේ කාලය ගෙවෙන්නේ කොහොම ද කියන එක ගැන අවධානයෙන් ඉන්න."

කාලය පිළිබඳ සංකල්පය ඔබේ සතුටට බෙහෙවින් වැදගත් වේ. "අපි හැම තිස්සේ ම ධනවත්කම මනින්නේ අපිට තියෙන මුදල් මත, ඒත් පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ අපට තියෙන කාලය මත ධනවත්කම මැනිය යුතු බවයි."

5. සමාජ මාධ්‍ය සබඳතා අඩු කර සැබෑ සබඳතා පැවැත්වීම

A couple jumping into beautiful blue water

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මහාචාර්ය ලෝරී සැන්ටෝස් පවසන්නේ, සමාජ මාධ්‍ය හරහා පවත්වන සබඳතාවලින් අපට ලැබෙන්නේ ව්‍යාජ සන්තෝෂයක් බවය. ඉන් ඈත් විය යුත්තේ ඒ හේතුවෙනි.

"මෑතකදී කරල තියෙන පර්යේෂණයකින් තහවුරු වෙලා තියෙනවා, විශේෂයෙන් ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ඒවා භාවිත නොකරන්නන්ට වඩා අසතුටින් සිටින බව."

එසේ නම් සතුට ළඟ කර ගත හැකි ක්‍රම ඔබ සතුව ඇත.

ඔබට සැබවින් ම ජීවිතයේ සතුට විඳීමට අවශ්‍ය නම්, ස්තුතිවන්ත වීම ආරම්භ කරන්න, හොඳ නින්දක් ලබා ගන්න, මනස එකඟ කර ගන්න, ඔබ කැමති පුද්ගලයින් හොඳින් ඇසුරු කරන්න එමෙන් ම සමාජ මාධ්‍යවලින් මඳකට ඉවත්ව සිටින්න.

යේල් විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට එය සාර්ථක විය. ඔබට ද ඉන් ප්‍රතිඵල ලැබෙනු ඇත.

- ඊවා ඔන්ටිවිරෝස් (බීබීසී ලෝක සේවය)