කයිලී ජෙනර්: ලොව ලාබාලතම කෝටිපතිනිය, සකර්බර්ග්ගේ වාර්තා බිඳ හෙළයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෆෝබ්ස් සඟරාවේ කෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව තනිව ගොඩ නැගුණු ලොව ලාබාලතම කෝටිපතිනිය ලෙස ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක වන කයිලී ජෙනර් නම් කර තිබේ.
ජනප්‍රිය රංගන ශිල්පිනී කිම් කාඩේෂියන් පවුලේ ලාබාලතමයා වන ඇය මෙතරම් ධනවත් වූයේ, රූපලාවණ්‍ය ව්‍යාපාරය නිසාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
21 හැවිරිදි කයිලී ජෙනර්ට අයත් කයිලී කොස්මෙටික්ස් සමාගම පසුගිය වසරේ ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි.
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් කෝටිපතියන්ගේ ලැයිස්තුවට එක් වන විට 23 හැවිරිදි වියේ පසුවූ අතර කයිලී එම තත්ත්වයට පත් වූයේ, 21 වන වියේදීය.
"මම කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නහැ. මම අනාගතය කලින් සැලසුම් කළේ නැහැ. කොහොම වුණත් මේ ලැබුණු තත්ත්වය ගොඩක් හොඳයි. අනික් අතට ඒක මට ලොකු අවස්ථාවක්," කයිලී ජෙනර් ෆෝබ්ස් සඟරාවට පැවසීය.
ජෙෆ් බෙසෝස් තවදුරටත් පෙරමුණේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ධනවතුන්ගේ ලැයිස්තුවේ තවදුරටත් ලොව ධනවත් ම පුද්ගලයා ලෙස පෙරමුණේ පසු වන්නේ, ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ය.
ෆෝබ්ස් සඟරාව පවසන ආකාරයට ඔහුගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 131කි. එය 2018 වසරට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක වැඩි වීමකි.
වත්කම් පහළ ගිය පුද්ගලයින් අතර ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ද වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහුගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 62.3ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 8.7ක පහළ යාමකි.
ධනවතුන් අතර දෙවන ස්ථානයේ පසු වන බිල් ගේට්ස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 96.5ක් ලෙස සටහන් වේ. එය පසුගිය වසරට වඩා බිලියන 6.5ක වැඩි වීමකි.

ලොව පුරා සිටින කෝටිපතියන් අතරින් කාන්තාවන් ඇත්තේ 252 දෙනෙකු පමණි. ඒ අනුව, තනිව ගොඩ නැගුණු ධනවත් ම කාන්තාව වන්නේ, චීනයේ දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින වූ යවුං නමැති කාන්තාවය. ඇය සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4කි.
කියවන්න:








