ඔසාමා බින් ලාඩන්ගේ පුතා ගැන ඔත්තුවක් දුන්නොත් ඇමෙරිකාවෙන් ඩොලර් මිලියනයක තෑග්ගක්

අල්-කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකාව නිවේදනය කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, ඔසාමාගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් අල්-කයිඩා සංවිධානයේ ප්‍රධාන නායකයෙකු බවට පත්වෙමින් සිටින බවය.

සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකාවටත් ඊට සහය දෙන බටහිර රටවලටත් ප්‍රහාර එල්ල කරන ලෙස අනුගාමිකයින්ට පවසමින් පසුගිය වසර කිහිපය තුළ ඔහු හඬ පට සහ වීඩියෝ පට නිකුත් කර තිබිණි.

ඇමෙරිකානු හමුදා විසින් 2011 වසරේදී පාකිස්තානයේදී ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන ලදී.

සාමාන්‍ය වැසියන් 3000කට මරු කැඳවමින් ඇමෙරිකාවට එරෙහිව 2001 වසරේ සැප්තැම්බර් මස 11 වන දා එල්ල කළ ප්‍රහාරය ඔසාමා බින් ලාඩන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක විය.

මීට වසර දෙකකට පෙර ඇමෙරිකාව විසින් 30 හැවිරිදි වියේ පසුවන බවට විශ්වාස කරන හම්සා බින් ලාඩන් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන ලදී.

ඔහු විවාහ වූයේ, 2001 ඇමෙරිකානු ප්‍රහාරයට යොදගත් පැහැරගත් වාණිජ ගුවන් යානා හතරෙන් එක් යානයක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගැටීමට සැලැස්වූ මොහොමඩ් අටා නමැත්තාගේ දියණිය සමගය.

ඔසාමා බින් ලාඩන් ඝාතනයට ලක්වූ පාකිස්තානයේ ඇබොටාබාද්හි නිවසේ තිබී සොයා ගැනුණු ලිපි කිහිපයක සඳහන්ව තිබුණේ, තමාගෙන් පසුව අල්-කයිඩා නායකත්වය භාර ගැනීම සඳහා ඔහුගේ ප්‍රියතම පුත්‍රයා බවට විශ්වාස කරන හම්සා පුහුණු කරන බවය.

"අපි විශ්වාස කරනවා ඔහු ඇෆ්ඝනිස්තාන - පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඉන්නවා කියලා. ඔහු ඒ හරහා ඉරානයට ඇතුළු වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔහු දක්ෂිණ මධ්‍යම ආසියාවේ කොතනක හෝ සිටිය යුතුයි," ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව පිළිබඳ සහකාර ලේකම් මයිකල් එවනොෆ් පැවසීය.

හම්සා බින් ලාඩන් සිය මව සමග ඉරානය තුළ වසර ගණනාවක් වාසය කළ බවටත්, ඔහුගේ විවාහය එහිදී සිදුවූ බවටත් විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, ඔහු පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය හෝ සිරියාවේ ජීවත් වන්නට ඇති බවට ද වාර්තා පළ වී තිබේ.