වෙනිසුවෙලා අර්බුදය: විපක්ෂ නායකයාගේ බැංකු ගිණුම් අත්හිටුවයි

වෙනිසුවෙලාවේ විපක්ෂ නායක හුවාන් ගයිදෝ ට රටින් පිටවීම තහනම් කිරීමටත්, ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

ඉහත කී පියවර ගනු ලැබුවේ තමන් අන්තර්වාර ජනාධිපති බවට පසුගිය සතියේ ගයිදෝ ප්‍රකාශ කිරීමත් සමග වර්ධනය වූ බල අරගලය මධ්‍යයේය.

ඇමෙරිකාව සහ තවත් රටවල් කිහිපයක් ගයිදෝ වෙත සහය පළ කළ අතර, ජනාධිපති නිකොලස් මදුරෝට රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සහය දැක්වීය.

නිකලස් මදුරෝ ජනවාරි 10 වන දා සිය දෙවන ධූර කාලය ආරම්භ කිරීමත් සමග රට පුරා විරෝධතා පැවැත්විණි.

පසුගිය වසරේ පැවති ආන්දෝලනාත්මක ඡන්ද විමසීමකින් පසුව ඔහු ජනාධිපති ධූරයට පත් විය. එම ඡන්ද විමසීම පැවැත්වුණේ, විපක්ෂය අපේක්ෂකයින් රැසක් බන්ධනාගාරගත කර හෝ මැතිවරණය සඳහා තරග කිරීමෙන් වළකාලනු තිබියදීය.

වෙනිසුවෙලා පවතින විරෝධතා හමුවේ, ජනවාරි 21 වන දා සිට මේ දක්වා පුද්ගලයින් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කෙරෙන අතර, තවත් සිය ගණනක් අත්අඩංගුවේ පසු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

වෙනිසුවෙලා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් විපක්ෂ නායක හුවාන් ගයිදෝ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ, අදාළ පියවර "අලුත් දෙයක්" නොවන බවය.

"මම තර්ජන නොසලකා හරින්නේ නැහැ. ඒත්, අපි අපේ රාජකාරිය කරගෙන යනවා," ඔහු පැවසීය.

ඇමෙරිකාව කුමක් කරයි ද?

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අධිකරණය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නොසතුට පළ කරමින් ට්විටර් පණිවුඩයක් පළ කර තිබිණි.

වෙනිසුවෙලා දේශපාලන අර්බුදය ගැන කියවන්න

"ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට හෝ ගයිදෝ ට හානි කිරීමට උත්සහ කරන පුද්ගලයන්ට බරපතල ප්‍රතිවිපාක ලැබෙනු ඇති" ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

වෙනිසුවෙලා රජයට අයත් PDVSA ඉන්ධන සමාගමට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කරමින් ජෝන් බෝල්ටන් සඳුදා පැවසුවේ, "ජනාධිපති නිකොලස් මදුරෝ ට තවදුරටත් වෙනිසුවෙලා වැසියන්ගේ වත්කම් කොල්ල කෑමට නොහැකි" බවය.

ඔහු එහිදී යුදමය ක්‍රියාමාර්ගයක් පිළිබඳව ද ඉඟි කරමින් පැවසුවේ, "සියලු විකල්ප මේසය මත තබා ඇති" බවය.