වෙනිසුවෙලාවේ අභ්‍යන්තර අර්බුදය ගෝලීය අර්බුදයක් බවට හැරේවිද ?

Juan Guaido proclaiming himself Venezuela's president in Caracas on 23/01/2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වෙනිසුවෙලාවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය ගෝලීය මට්ටමට වර්ධනය වීමේ තර්ජනයක් මතු වී තිබේ.

ජනාධිපති නිකලස් මදුරෝට ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් පැවැත්වෙන විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට හැරෙමින් පවතිද්දී, තමන් අන්තර්වාර ජනාධිපති බව විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ බදාදා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව, කැනඩාව මෙන් ම ප්‍රබල අසල් වැසි රටවල් වන බ්‍රසීලය, කොලම්බියාව සහ ආර්ජන්ටිනාව ද ඔහුට ක්ෂණිකව සහය පළ කළේය. යුරෝපා සංගමය නව ඡන්ද විමසීමක් පවත්වන ලෙස ඉල්ලා සිටි අතර සිය සහය ගුඅයිඩෝ ප්‍රමුඛ ජාතික සභාවට හිමි වන බව නිවේදනය කළේය.

රුසියාවේ සහ චීනයේ සහය මදුරෝට

ජනාධිපති මදුරෝට සහය දක්වන රටවල් අතර රුසියාව සහ චීනය ප්‍රධානය.

Maduro gives speech to supporters in front of the Miraflores presidential palace

ඡායාරූප මූලාශ්‍රය, EPA

රුසියාව පසුගිය බ්‍රහස්පතින්දා අනතුරු අඟවා සිටියේ, ගුඅයිඩෝගේ ප්‍රකාශය "අවනීතිය සහ ලේ වැගිරීමකට සෘජු මාවතක්" වූ බවය.

නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රහස්පතින්දා පැවසුවේ, "විනාශකාරී ප්‍රතිවිපාකවලින් සමන්විත එවැනි අතිධාවනකාරීත්වය සම්බන්ධයෙන් අපි අනතුරු අඟවන" බවය.

මේ අතර, වෙනිසුවෙලාවට එරෙහිව සිදුවන විදේශ "අත පෙවීම්වලට" චීනය විරුද්ධ බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක හුආ චුනිං එදිනම පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

"ජාතික ස්වෛරීභාවය, නිදහස සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනිසුවෙලාව ගන්නා උත්සහයට චීනය සහය දෙන," බව ඔහු පැවසීය.

"වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය චීනය නිරන්තරයෙන් අනුගමනය කරලා තියෙනවා. ඒ වගේම වෙනිසුවෙලාවට එරෙහිව සිදුවන බාහිර අත පෙවීම්වලට අපි විරුද්ධයි."

Chinese President Xi Jinping walks next to Nicolas Maduro during a visit to Beijing, September 2018

ඡායාරූප මූලාශ්‍රය, Reuters

තුර්කිය, ඉරානය, මෙක්සිකෝව, කියුබාව සහ තවත් රටවල් කිහිපයක් මදුරෝට සහය පළ කර තිබේ.

තුර්කියේ ජනාධිපති ප්‍රකාශක ඊබ්‍රහීම් කාලින් පැවසුවේ, තුර්කි ජනාධිපති රිසෙප් තයියෙප් එර්දොවාන් නිකලස් මදුරෝට සහය පළ කර ඇති බවය. ඔහු ට්විටර් පණිවිඩයකින් කියා සිටියේ, "මදුරෝ, මගේ සහෝදරයාණෙනි, නැගී සිටින්න අප ඔබ සමගයි." යනුවෙනි.

ජනාධිපති ප්‍රකාශකවරයා එය පළ කර තිබුණේ, #WeAreMADURO යනුවෙන් හෑෂ් ටැගයක් ද සමගය.

වෙනිසුවෙලාව ඇමෙරිකාව සමග සබඳතා අත් හරී

ඇමෙරිකානු සහ වෙනිසුවෙලානු බලධාරීන්ගේ දරුණු වචන හුවමාරුව හමුවේ, මේ සම්බන්ධයෙන් නිර්මාණය වූ ජාත්‍යන්තර උණුසුම පහව යන ලකුණු දක්නට නොලැබේ.

ගුඅයිඩෝ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමත් සමග, මදුරෝ පැවසුවේ, ඇමෙරිකාව සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලනික සබඳතා අත් හැර දමන බවය.

"වෙනිසුවෙලාවේ සිටින සියලු රාජ්‍ය තාන්ත්‍රික සහ කොන්සල් නිලධාරීන්ට රටින් පිටව යාමට" පැය 72ක කාලයක් දී ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පැවසුවේ, ඇමෙරිකාව මදුරෝ හරහා වෙනිසුවෙලාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපතවත්වන අතර ගුඅයිඩෝ හරහා සබඳතා පවත්වන බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"ඇමෙරිකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත්වන්න හෝ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රටින් පිට කරන්න නීත්‍යනුකූල බලයක් හිටපු ජනාධිපති නිකලස් මදුරෝට තියෙන බව අපි පිළිගන්නේ නැහැ," නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසීය.

'විකල්ප සියල්ල මේසය මත'

2017 වසරේදී පළමු වරට වෙනිසුවෙලාවට එරෙහිව "යුදමය විකල්පයක්" අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර, ධවල මන්දිරයේ බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු යළිත් එය සඳහන් කළේය.

"අපි කිසි දෙයක් ගැන හිතලා නැහැ. ඒත් විකල්ප සියල්ල ම මේසය මත තිබෙනවා," ට්‍රම්ප් පැවසීය. "සැමවිටම, විකල්ප සියල්ල මේසය මත තිබෙනවා."

A man stands to a state-owned refinery in Western Venezuela (2016)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ, වෙනිසුවෙලාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන ඉන්ධන අපනයනයට සම්බාධක පැනවීමටත්, සම්බාධක පනවා ඇති වෙනිසුවෙලානු බලධාරීන්ගේ ලේඛනයට තවත් පුද්ගලයින් එකතු කිරීමටත් ජනාධිපති ට්‍රම්ප් පියවර ගනු ඇති බවය.

එසේ කළහොත් වෙනිසුවෙලාව, රුසියාවෙන් සහ චීනයෙන් ගෙන ඇති බිලියන ගණනක ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එල්ල වනු ඇත.

රුසියාවෙන් තිරිඟු ආනයනය කිරීමටත් රුසියාවට ඉන්ධන අපනයනය කිරීමටත් රුසියාව සහ වෙනිසුවෙලාව අතර පසුගිය මාසයේදී ගිවිසුමකට අත්සන් තැබිණි.

ඉන්ධන අපනයනය සාර්ථකව පැවති සමයේදී රුසියාවෙන් යුද මෙවලම් මිල දී ගත් රටවල් අතර වෙනිසුවෙලාව පෙරමුණ ගෙන සිටියේය.

'සංවිධානාත්මක ක්‍රියාවක්'

කෙසේ වෙතත්, වෙනිසුවෙලාවට අසල් වැසි රටවල් ක්‍රියාත්මක වන ආකාරය අනුව රුසියාව සහ ඇමෙරිකාව අතර සෘජු ගැටුමක් නිර්මාණය වීම වැළැක්වෙනු ඇත.

බීබීසී යේ ව්ලදිමීර් හර්නැන්ඩස් පවසන්නේ, හිටපු ජනාධිපති හියුගෝ චාවේස් ගොඩ නැගූ බොලිවේරියානු පාලනය බිඳ දැමීම සඳහා සංවිධානාත්මක උත්සහයක් ඇතැයි ගුඅයිඩෝට කලාපීය රටවල සහය හිමි වීම හරහා පෙනී යන බවය.

'යුදමය මැදහත් වීම් නැහැ'

The Colombian president, Ivan Duque, at the Davos Forum

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කොලම්බියානු ජනාධිපති ඉවාන් ඩක්

ස්විට්සර්ලන්තයේ පැවති ලෝක ආර්ථික සමුළුව අමතමින් කොලම්බියානු ජනාධිපති ඉවාන් ඩක් පැවසුවේ, මදුරෝ "පැත්තකට වී වෙනිසුවෙලානු ජනතාවට නිදහස දිය යුතු" බවය.

"අපි කතා කරන්නේ යුදමය මැදිහත් වීමක් ගැන නෙවෙයි. අපි කතා කරන්නේ, රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සහ වෙනිසුවෙලානු ජනතාවට සහය වීමක් ගැනයි."

මේ අතර, මීට බ්‍රසීල උපජනාධිපති ජෙනරල් හැමිල්ටන් මෝරාඕ පැවසුවේ, සිය රට "යුදමය මැදිහත් වීමකට දායක නොවන" බවය.