බ්‍රෙක්සිට්: අන්ත පරාජයෙන් පසු තෙරේසා මේ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්

යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ ගිවිසුම එරට පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වීමත් සමග ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වේ.

අදාළ ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අඟහරුවාදා (ජනවාරි 15) පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 432 ක් ඊට සහය නොදෙන බව පවසමින් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ගිවිසුමට පක්ෂව ලැබී තිබුණේ, ඡන්ද 202ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 230 කින් අදාළ චෝදනාව පරාජයට පත් විය.

කෙසේ වෙතත්, උතුරු අයර්ලන්තයේ DUP පක්ෂය සහ ටෝරි විප්ලවවාදීන් අග්‍රාමාත්‍ය තෙරේසා මේට සහය දෙන බව පවසා තිබීම හේතුවෙන් විශ්වාසභංගය ජය ගැනීම පහසු නොවන බව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ පවසති.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම බදාදා (ජනවාරි 16) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

මේ අතර, තෙරේසා මේ සිය මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ, ලබන සතියේ විකල්ප සැලැස්මක් ඉදිරිපත් කරන බවය. තමන් විශ්වාසභංගය පරාජය කරන බව ද ඇය පවසා තිබේ.

මොකක්ද මේ බ්‍රෙක්සිට්?

බ්‍රිටිෂ් එක්සිට් (British exit) යන්න කෙටි කර බ්‍රෙක්සිට් (Brexit) යන වචනය යොදාගනු ලබන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමේ තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

යුරෝපා සංගමය (European Union/EU) යනු කුමක්ද?

යුරෝපා සංගමය යනු රටවල් විසි අටකින් සැදුම්ලත් දේශපාලනික සහ ආර්ථික එකමුතුවකි. ඒ හරහා සාමාජික රටවල් අතර වෙළඳාම් මෙන්ම පුරවැසියන්ට ඒ ඒ රටවල් අතර පහසුවෙන් ගමන් කිරීමට සහ රැකියා කිරීමට අවස්ථාව හිමි වේ.

එවක යුරෝපා ආර්ථික ප්‍රජාව (European Economic Community) යනුවෙන් හඳුන්වන ලද යුරෝපා සංගමයට බ්‍රිතාන්‍ය එක් වූයේ 1973 වසරේදීය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ඇයි?

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ජනමත විචාරණය 2016 වසරේ ජුනි 23 වෙනිදා පැවැත්විණි. එහිදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද? නොඑසේ නම් යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිය යුතුද? යන්න ඡන්දදායකයන්ගෙන් විමසනු ලැබීය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව පවසමින් 52% ක් (මිලියන 17.4) ඡන්දය ප්‍රකාශ කර තිබු අතර යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිය යුතු බව පවසමින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 48% (මිලියන 16.1) කි.

බ්‍රිතාන්‍ය වාසීන්ගේ මතය ප්‍රකාශයට පත් වූ නමුත් එය ඒ මොහොතේදීම ක්‍රියාත්මක නොවිණි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ 2019 මාර්තු 29 වෙනිදාය.

මේ දක්වා ගමන් මග

2016 ජනමත විචාරණය ආරම්භය පමණි. එතැන් පටන් එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර සාකච්ඡා පැවැත්විණි.

ප්‍රධාන වශයෙන් සාකච්ඡා පැවැත්වුනේ "දික්කසාද ගිවිසුම" සම්බන්ධයෙනි. එක්සත් රාජධානිය ඉවත් වන්නේ කෙසේද?, ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් පසුව කුමක් සිදු වේද? එහිදී සාකච්ඡාවට ගැනිණි.

එකඟ වී ඇති කරුණු මොනවාද?

ඉවත්වීමේ ගිවිසුමේ ප්‍රධාන කරුණු කීපයක් පහත දැක්වේ.

  • සාමාජිකත්වයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය යුරෝපා සංගමය වෙත කොපමණ මුදලක් ගෙවිය යුතුද? - එය ස්ටර්ලින් පවුම් බිලියන 39 ආසන්න මුදලකි.
  • යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල වෙසෙන එක්සත් රාජධානියේ පුරවැසියන්ට කුමක් සිදුවේද? එසේම එක්සත් රාජධානිය තුළ වෙසෙන යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල පුරවැසියන්ට කුමක් සිදුවේද?
  • යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය අතර උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජනරජය අතර භෞතික දේශ සීමාවක් ස්ථාපනය කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?
  • සංක්‍රාන්ති කාලය වශයෙන් හඳුන්වනු ලබන කාල සීමාව තුළ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර වෙළඳ ගිවිසුම් සැකසීම සඳහාත් ව්‍යාපාරවලට අනාගතය සඳහා හැඩගැසීමට අවශ්‍ය කාලය ලබා දීමටත් එකඟ විය.
  • දීර්ඝ කාලීනව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අතර සබඳතා දළ වශයෙන් දැක්වෙන තවත් ලියවිල්ලක් සකසනු ලැබිණි. එම දේශපාලන ප්‍රකාශනය තුළ අනාගත සාකච්ඡා සඳහාවන ඉලක්ක ඇතුළත් වේ.

මීළඟට සිදුවන්නේ කුමක්ද?

ඉවත්වීමේ ගිවිසුම සහ දේශපාලන ප්‍රකාශනය සඳහා යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල් විසි හතේ නායකයන් අත්සන් තබා ඇත. අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ, ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගත යුතුය.

බ්‍රෙක්සිට් මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කර පසුගිය දෙසැම්බර් 13 වෙනිදා ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ සමත් විය.

බ්‍රෙක්සිට් ගිවිසුම මගින් 2016 වසරේ පැවති ජනමත විචාරණය පාවා දීමක් සිදු වන බවට චෝදනා කළ මන්ත්‍රීවරුන් 48 දෙනෙක් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට මුල් වූහ.