ඔසප් කාලය තුළ මඩුවකට පිටමං කරන නේපාල කාන්තාවන් : තිදෙනෙක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඔසප් කාලය තුළ නිවසින් පිටමං කොට මඩුවක රඳවා සිටි කාන්තාවක සහ ඇයගේ දරුවන් දෙදෙනා මිය යෑමේ පුවතක් නේපාලයෙන් වාර්තා විය.
මාසික ආර්තවය නැතහොත් ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රය නීතියෙන් තහනම් කර ඇති නමුත් නේපාලයේ ග්‍රාමීය පෙදෙස් හි තවමත් එය ක්‍රියාත්මක වෙයි.
ඉහත කී තිදෙනා මියගොස් ඇත්තේ, මේ දිනවල පවතින අධික ශීතලෙන් බේරීම සඳහා මඩුව තුළ ගිනි මැලයක් දල්වාගෙන නින්දට ගොස් සිටියදී ය.
ගිනි මැලයෙන් නිකුත් වූ දුම ආශ්වාස කිරීමෙන් ඔවුන් මිය යන්නට ඇතැයි සැක කෙරෙන බව නේපාල බලධාරීහු බීබීසී වෙත පැවසුහ.
මෙම සිද්ධිය වාර්තා වන්නේ නේපාලයේ බටහිර පෙදෙසේ බජුරා දිස්ත්‍රික්කයේ ය. මව සමඟ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 9 සහ 12 පසුවූ දරුවන් දෙදෙනෙකි.
"අවාසනාව උදාකරන්නියන්"
මෙවැනි සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ඔසප් සමය ඇතුළත, මඩුවක හෝ ගව ගාලක නිදා ගැනීමට බලහත්කාරයෙන් නිවසින් බැහැර කර සිටිය දී කාන්තාවන් මියගිය අවස්ථා කිහිපයක් වාර්තා වී තිබුණි.
එසේ රැය පහන් කරමින් සිටි යොවුන් දැරියකට සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් ඇය මිය ගිය පුවතක් ද මීට පෙර වාර්තා විය.

නේපාල භාෂාවෙන් "චෞපඩි" (chhaupadi) යනුවෙන් හැඳින්වෙන මෙය එරට සමාජයේ මුල්බැස ගෙන ඇති චාරිත්‍රයක් වන අතර වසර 2017 දී නීතියෙන් තහනම් කෙරුණි.
ඔසප් වූ කාන්තාවක් නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් 21ක (ඇමෙරිකානු ඩොලර් 27 කි) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලැබෙයි.
මාස් ශුද්ධි සමයේ සහ දරුවන් ප්‍රසූත කළ දිනවල කාන්තාවන් 'අපිරිසිදු එසේම අවාසනාව උදාකරන්නියන්' යයි මුල්බැස ගත් පෞරාණික හින්දු පිළිගැනීමක් ඇති අතර එම කාලය තුළ ඔවුන්ට නිවසින් පිටත මඩුවක හෝ හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරෙන අවස්ථා වාර්තා වෙයි.
ආහාර ගැනීම හෝ වැසිකිළි පාවිච්චිය
හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරුනත් 'තමන් අපිරිසිදු හෙයින්' එම කාන්තාවන්ට ගවයන් අතපත ගෑම තහනම්ය.
එපමණක් නොව, ඔසප් වූ කාන්තාවන්ට සිය නිවසේ ආහාර ගැනීම හෝ වැසිකිළි පාවිච්චියට අවසර නොලැබෙන අතර සිය උවමනා සඳහා ගමින් පිටත බොහෝ ඈතට ඇවිද යාමට සිදු වෙයි.
ළඟදී දරුවන් වැදූ කාන්තාවන්ට ද මෙම චාරිත්‍රයට මුහුණ දීමට සිදු වෙයි.
එම කාන්තාවන් වඩාත් දැඩි හිරිහැරයට ගොදුරු වන්නේ ශීත කාලය උදාවත් සමග දැඩි සීතලේ සිටීමට සිදුවීමත් සමඟයි.

ඡායාරූප මූලාශ්‍රය, CHARUKESI RAMADURAI
මේ තොරතුරු ද කියවන්න:
එසේම, ඔසප් වූ දැරියන්ට අධ්‍යාපනය සඳහා පාසල් යාමට ද අවසර නොලැබෙයි.
මෙම චාරිත්‍රයට එරෙහිව දඬුවම් ද සමඟ නව නීතියක් සම්මත කර ඇති නමුත් සමාජයේ මුල්බැස ගත් එම පුරුද්ද පරාජය කළ හැකි වේදැයි කාන්තා ක්‍රියාධාරිනී පේමා ලාකි ප්‍රශ්න කරන්නීය.
"චෞපඩි පුරුද්ද නීතිය මගින් විතරක් නතර කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. හේතුව එය ගැඹුරින් මුල් බැසගත් සමාජ චාරිත්‍රයක් නිසා. අනිත් අතින් කාන්තාවනුත් ඒකට හවුල්. ඒ නිසයි මේක නතර කරන්න අමාරු" පේමා ලාකි පෙන්වා දෙයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති මානව හිමිකම් වාර්තාවක් අනුව 2010 වසරේ වයස අවුරුදු 15 - 49 අතර නේපාල කාන්තාවන්ගෙන් 19% ක් "චෞපඩි" චාරිත්‍රය අනුගමනය කරති.
ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක්?
ඔසප් සමය, කාන්තාව අපිරිසිදු වෙන කාලයක් ලෙස සැලකෙන්නේ නේපාලයේ පමණක් නොවේ.
එය අපිරිසිදු කාලයක් ලෙස සලකන ආගම් පිළිබඳවත් වාර්තා වෙයි.
එම විශ්වාසය නිසා ඔසප් වූ කාන්තාවන් ඇතැම් ආගමික ස්ථානවල පුද පූජාවන්ට සහභාගී කර නොගනිති.
ඔසප් වූ කාන්තාවන් හින්දු කෝවිල් වලට ඇතුළු කර නොගැනීම එක් උදාහරණයක් පමණි.
කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් කාන්තාවන්ට සිය කෝවිලට ඇතුල් වීමට අවසර දෙන බව කේරලයේ, සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා ප්‍රකාශ කරනු ලැබීම පසුගිය අවධියේ සමාජ සංවාදයකට හේතු විය.
එම ප්‍රකාශය සමාජ මාධ්‍ය මගින් දැඩි දෝෂ දර්ශනයට ලක්වූ බව, 'ද ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත් පත වාර්තා කළේය.
මුස්ලිම් පල්ලිවලත් එම තහංචිය බල පැවැත්වෙයි.
මාලි රටේ ඩොගොන් (Dogon) ගෝත්‍රයේ කාන්තාවෝ ඔසප් සමය නිවසින් පිටත මඩුවක ගත කරති.








