ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්රෙක්සිට් සම්මුතිය නිසා බ්‍රිතාන්‍යයේත් දේශපාලන අර්බුදයක්, ඇමතිවරු පිරිසක් අස්වෙති
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග එකඟ වූ බ්‍රෙක්සිට් සම්මුතිය කෙරෙහි සිය සම්පූර්ණ විශ්වාසය තබන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසයි.
ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අගමැති නිල නිවාසයේදී මාධ්‍ය හමුවක් ඇමතූ අගමැතිනිය, බ්‍රෙක්සිට් සම්මුතිය සම්බන්ධයෙන් තමන්ට නිවැරදි යයි සිතෙන ස්ථාවරයක් ගැනීමට ආණ්ඩුවේ සිය සගයන්ට අවස්තාව තිබෙන බවත් කියා සිටියාය.
අගමැතිනි තෙරේසා මේ එම අදහස් පළ කළේ තමන් ඉදිරිපත් කළ බ්රෙක්සිට් සැලසුමට විරෝධය පාමින් කැබිනට් අමාත්‍යවරුන් දෙනෙනෙකු ඇතුළු ඇමතිවරුන් පිරිසක් බ්‍රහස්පතින්දා (නොවම්බරේ 15) දිනය ඇතුළත ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.
පදවිවලින් ඉල්ලා අස්වූ සියලු දෙනාට සිය ස්තුතිය පිරිනමන බවත් ඇය කියා සිටියාය.
බ්‍රෙක්සිට් සම්මුතියේ ඇතැම් කරුණු පිළිබඳව ඇතැමුන්ගේ සතුටක් නැතැයි තමන් හොඳින්ම දන්නා නමුත් බ්‍රිතාන්‍ය ජනතාව ජනමත විචාරණයේදී ඉල්ලා සිටි දේ අදාළ සම්මුතිය මගින් එකඟ වී ඇති බව ඇය සඳහන් කළාය.
මේ අතර අගමැතිනියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන මෙන්, බ්‍රෙක්සිට් වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරයෙක් යෝජනා කළේය.
විශ්වාස භංග යෝජනාවකට මුහුණ දෙන්නේ දැයි විමසූ අවස්ථාවේ අගමැතිවරිය කියා සිටියේ "නායකත්වය යනු නිවැරදි තීරණ ගැනීම විනා, පහසු තීරණ ගැනීම නොවන," බවය.
එබැවින් අවශ්‍ය නම් විශ්වාස භංගයකට හෝ මුහුණ දී තමන් එම සම්මුතිය ඉදිරියට ගෙන යන බව ඇය අවධාරණය කළාය.
බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් යළිත් වතාවක් ජනමත විචාරණයක් නොපවත්වන බව කියා සිටි අගමැතිනි තෙරේසා මේ, නියමිත පරිදිම බ්‍රිතාන්‍යය ලබන වසරේ මාර්තු 29 වෙනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වන බවත් වැඩිදුරටත් සඳහන් කළාය.
විපක්ෂනායක ජෙරමි කෝබින් ද අගමැතිවරිය එකඟ වූ ගිවිසුම දැඩි විවේචනයට ලක් කළ අතර, මතු වී තිබෙන අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය පවුමේ අගයද 1% ටත් වඩා ප්‍රමාණයකින් පහළ වැටුනේය.
බ්‍රිතාන්‍යයේ දේශපාලන අර්බුදය සම්බන්ධ අලුත්ම තොරතුරු සඳහා මේ පිටුවට පිවිසෙන්න. (ඉංග්‍රීසි භාෂාවෙන්).