කැලිෆෝනියාව: තවුසන්ඩ් ඕක්ස් ප්‍රදේශයේ සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් 12 ක් මරුට

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

කැලිෆෝනියාවේ, තවුසන්ඩ් ඕක්ස් ප්‍රදේශයේ සමාජ ශාලාවක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් ද ඇතුළුව 12 දෙනෙකුවත් මියගොස් තිබේ.

වෙඩි තැබීම බදාදා (07) එරට වේලාවෙන් රාත්‍රී 11.20 ට පමණ සිදුවූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

තවුසන්ඩ් ඕක්ස්, ලොස් ඇන්ජලීස් නගරයට කිලෝ මීටර් 65 ක් පමණ වයඹ දෙසින් පිහිටා තිබේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සමාජ ශාලාව තුළ අවම වශයෙන් පුද්ගලයන් 200 ක් පමණ සිටි බව වාර්තාවේ.

වෙඩි තැබීම කළැයි සැක කරන පුද්ගලයාගේ මළ සිරුරද සමාජ ශාලාව තුළ තිබී හමුවී ඇති බවත්, තවමත් ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති බවත් නිලධාරීහු පවසති.

එසේම, වෙඩි තැබීමට ඔහු පෙළඹවූ කරුණ නොදන්නා බවද ඔවුහු පවසති.

මේ ගැනත් කියවන්න:

වෙඩි තැබීම සිදුවුයේ කෙසේද ?

විද්‍යායතනයක සංගීත රාත්‍රියක් පැවැත්වෙන අතර තුර කලු පැහැති ඇඳුමින් සැරසුණු පුද්ගලයා සමාජ ශාලාවට ඇතුළුවී වෙඩි තැබීම ආරම්භ කර තිබේ.

සැකකරු දුම් බෝම්බයක් සහ අවම වශයෙන් තවත් එක් ආයුධයක් භාවිත කර ඇති බව වාර්තාවේ. අදාල ආයුධය අර්ධ ස්වයංක්‍රිය පිස්තෝලයක් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

එරට KTLA රුපවාහිනී සේවයට තම අත්දැකීම විස්තර කළ තුවාල ලද පුද්ගලයෙක්, "අපි බිම දිගා වුණා. ගොඩක් කෑගහනවා ඇහුණා. එතැන හිටපු හඬ පාලක මගේ මිතුරියක්. ඇය ක්ෂණිකව සංගීතය නැවැත්වුවා. අපිට ඇහුණේ ප්‍රචණ්ඩ ක්‍රියාවේ හඬ පමණයි," යනුවෙන් පැවසීය.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

පොලිසිය පවසන්නේ කුමක්ද ?

සමාජ ශාලාව තුළ වූ දර්ශනය "භයංකර" බවත්, "හැමතැනකම ලේ" තිබුණු බවත් ප්‍රදේශයේ ප්‍රධාන පොලිස් නිලධාරියා වන ජෙෆ් ඩීන් (County Sherriff Geoff Dean) විස්තර කළේය.

පළමු හදිසි ඇමතුමෙන් විනාඩි තුනකට පසු පළමු ප්‍රතිචාර කණ්ඩායම එහි පැමිණි බව ඔහු පැවසීය.

මෙහිදී පොලිස් සැරයන්වරයෙකුට වෙඩි පහර කීපයක් වැදී තිබුණු අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.

වසර 29 ක සේවා කාලයකට හිමිකම් කියන එක් දරු පියෙක් වූ අදාල සැරයන්වරයා ලබන වසරේ විශ්‍රාම ගැනීමට නියමිතව සිටියේය.