ලයන් එයාර් අනතුර: යානය කඩා වැටීම ගැන කළු පෙට්ටියෙන් හෙළි වූ කරුණු

ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයට ආසන්නයේදී මුහුදට කඩා වැටුණු ගුවන් යානයේ සුළං වේග මාපකයේ දෝෂයක් පැවති බව අනාවරණය වී ඇතැයි බලධාරීහු පවසති.

ගුවන් නියමුවන්ට සිය ගුවන් යානය පියසාර කරන වේගය දක්වන එම උපාංගය දෝෂයකට ලක්ව පැවති බව හෙළි වී ඇත්තේ, යානයේ කළු පෙට්ටියේ පටිගත වූ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුවය.

ලයන් එයාර් සමාගමට අයත්ව තිබූ එම ගුවන් යානය පුද්ගලයින් 189 දෙනෙකු සමගින් පියාසර කිරීම අරඹා ස්වල්ප වේලාවකින් මුහුදට කඩා වැටිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටින මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් පිරිසක් ඉදිරියේ සඳුදා ලයන් එයාර් බලධාරීහු සාකච්ඡාවක් පැවැත්වූහ.

ඔවුන්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ, දෝෂයක් පැවතියදී එය අලුත්වැඩියා නොකර ගුවන් යානය පියාසර කරවූයේ ඇයි ද යන්නය. කෙසේ වෙතත්, ගුවන් යානය කඩා වැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

"අපියි මේකෙන් විඳවන්නෙ. අපේ තැන ඕගොල්ලො හිටිය නම් මොකද වෙන්නෙ කියල හිතල බලන්න" මිය ගිය අයෙකුගේ ඥාතියෙකු වන නජීබ් ෆුකෝනි පැවසීය.

මෙම රැස්වීමට ලයන් එයාර් සමාගමේ නිර්මාතෘ රුස්ඩි කිරානා ද සහභාගි වී සිටියේය.

ජනතාව නැගූ ප්‍රශ්න හමුවේ ඔහු නැගී සිටි නමුදු, කිසිවක් නොපවසා දෑත් එක්කොට හිස නමමින් ඔවුන්ගෙන් සමාව අයැද සිටියේය.

ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව පවසන්නේ, මෙම ගුවන් යානයේ මීට පෙර පියාසර කරවූ ගුවන් ගමන් දෙකකදී ද කාර්මික දෝෂ පැවති බවය.

මෙම ගුවන් අනතුරෙන් පසු Boeing 737 Max වර්ගයේ සියලු ගුවන් යානා පරීක්ෂාවට ලක් කරන ලෙස ඉන්දුනීසියානු රජය නියෝග කර තිබේ.