ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෞදි අරාබියෙන් පිටවීම තහනම් වූ ජමාල් කෂෝගිගේ පුතා අමෙරිකාවට
ඝාතනයට ලක්වූ ජමාල් කෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සලාහ් කෂෝගි සෞදි අරාබියේ සිට සිය පවුලේ සාමාජිකයින් සමග අමෙරිකාවට පැමිණ තිබේ.
පියා සෞදි රජුට එල්ල කළ විවේචන හේතුවෙන්, සලාහ්ට සෞදි අරාබියෙන් පිටවීම මීට පෙර තහනම් කර තිබිණි.
පසුගිය අඟහරුවාදා පළ කෙරුණු ඡායාරූපය දැක්වුණේ, ඔහු සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමග අතට අත දෙමින් කුමරු පළ කළ සංවේගය භාර ගත් ආකාරයයි.
ඉස්තාන්බුල් නගරයේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී ජමාල් කෂෝගි ඝාතනය කෙරුණේ, මීට සති තුනකට පෙරය.
මේ අතර, සෞදි රජයේ නීතීඥවරයා බ්‍රහස්පතින්දා පැවසුවේ, එම ඝාතනය පූර්ව සැලසුමක් අනුව කළ එකක් බවය.
ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් විශ්වසනීයත්වයෙන් යුතු පැහැදිලි කිරීමක් කළ නොහැකිව සිටින සෞදි රජය පවසන්නේ, එම ඝාතනය සෞදි නියෝජිතයින් ලෙස පෙනී සිටි "ව්‍යාජ" පුද්ගලයින් පිරිසක් විසින් එය කරනු ලැබ ඇති බවය.
ජමාල් කෂෝගි නිරුපද්‍රිතව කොන්සල් කාර්යාලයෙන් පිටව ගිය බව මුලින් පැවසූ සෞදි අරාබිය පසුව ප්‍රකාශ කළේ, කොන්සල් කාර්යාලය තුළ ඇතිවූ ගැටුමකදී ඔහු ඝාතනය වූ බවය.
තුර්කි විමර්ශකයින් නිල නොවන ලෙස සඳහන් කළේ, සෞදි ඔටුන්න හිමි කුමරුගේ අනුදැනුම ඇතිව කෂෝගිගේ ඝාතනය සිදුවූවා විය හැකි බවය. එහෙත්, සෞදි රජය එය ප්‍රතික්ෂේප කළේය.
පසුව සෞදි ඔටුන්න හිමි කුමරු, කෂෝගිගේ පුත් සලාහ් හමුවී සිය කනගාටුව පළ කළ අතර, අඟහරුවාදා ජාත්‍යන්තර ව්‍යාපාරික සමුළුව අමතමින් ඔහු ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වගකිය යුත්තන්ට දඬුවම් දෙන බව පැවසීය.
කියවන්න:
ඇතැම් පිරිස් පවසන්නේ, ඔටුන්න හිමි කුමරු හමු වීම හරහා කෂෝගිගේ පුත්‍රයාට රටින් පිටවීමේ අවස්ථාව ලැබී ඇති බවය.
අමෙරිකානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ද්විත්ව පුරවැසිභාවය හිමි සලාහ් කෂෝගි අමෙරිකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සෞදි නායකයින් දැනුම් දුන් බවය.
ඒ අනුව, සලාහ්ට යළි අමෙරිකාවට පැමිණීමට ඉඩ ලබාදීම හේතුවෙන් අමෙරිකාව "සතුටුවන බව" රජයේ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.
CIA භූමිකාව
CIA අධ්‍යක්ෂ ජිනා හැස්පෙල් (Gina Haspel) තුර්කියට ගොස් මෙම ඝාතනය සම්බන්ධයෙන් සොයා ගැනුණු තොරතුරු පිළිබඳව පරීක්ෂකයින්ගෙන් විමසා ඇත. එම තොරතුරු බ්‍රහස්පතින්දා ඇය ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ට දන්වා තිබේ.
කෙසේ වෙතත්, ඇය ලබා ගත් තොරතුරු පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර, ඝාතනය සිදුවූ අවස්ථාවේ පටිගතව තිබූ හඬපටවලට CIA අධ්‍යක්ෂවරිය සිය තුර්කි සංචාරයේදී සවන් දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
CIA අධ්‍යක්ෂවරිය අදාළ හඬපටවලට සවන් දී ඇති බව තුර්කියේ පළ කෙරෙන Sabah පුවත්පත ද වාර්තා කර තිබුණු අතර Washington Post සහ Reuters පුවත් සේවාවන් ද එය පසුව තහවුරු කරගෙන තිබිණි.
මේ ගැනත් දැනගන්න:
පරීක්ෂණවල තත්ත්වය
ජමාල් කෂෝගිගේ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් මෙතෙක් හමුවී නොමැත.
තුර්කියේ Anadolu පුවත් ඒජන්සිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් ඉස්තාන්බුල් කොන්සල් කාර්යාලයේ සේවකයින් 38 දෙනෙකුගෙන් සාක්ෂි විමසා ඇති බවය.
මළ සිරුර සෞදි කොන්සල් කාර්යාලය පිහිටි භූමියේ ළිඳක දමා ඇති බවට මේ වන විට අවධානය යොමු වී තිබේ.