මාධ්‍යවේදී කෂෝගි ඝාතනය: "ලෝක ඉතිහාසයේ දුර්වල ම සැඟවීම මෙයයි" - ජනපති ට්‍රම්ප්

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැක්වූ ප්‍රතිචාරය "ලෝක ඉතිහාසයේ දුර්වලතම සැඟවීම" ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා තිබේ.
ඔහු සඳහන් කළේ, මෙය කවුරුන් සැලසුම් කළ ද "ඔහුට බරපතළ ගැටලුවකට මුහුණ දීමට," සිදු වනු ඇති බවය.
මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පැවසුවේ, "ඝාතනයට වගකියයුත්තන්ට දඬුවම් කරන," බවය. ඊට අමතරව මේ වන හඳුනාගෙන ඇති සැකකරුවන් 21 දෙනාගේ වීසා අවසර පත් අවලංගු කරන බව ද ඔහු පැවසීය.
සිය සමීප මිත්‍ර රටක් වන සෞදි අරාබිය සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය දැඩි කරන ලෙස අමෙරිකාවට පීඩනයක් එල්ල වී තිබේ.
ඉතිහාසයේ දුර්වල ම සැඟවීම
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, "ඔවුන්ගේ මූලික සංකල්පය ඉතා ම නරක එකක්, ඒක ක්‍රියාත්මක කළේ ඉතා ම දුර්වල විදියට, ඒ වගේ ම එය සැඟවීමට ගත් උත්සහය ඉතිහාසයේ දුර්වල ම සැඟවීමයි," යනුවෙනි.
"ඒ අදහස කාගේ එකක් වුණත්, මං හිතන්නේ ඔහුට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙයි," ඔහු පැවසීය.
අමෙරිකාවේ පදිංචිකරුවෙකු මෙන් ම Washington Post පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු වූ 59 හැවිරිදි ජමාල් කෂෝගිට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව සෞදි රජය පරස්පර තොරතුරු ඉදිරිපත් කර තිබේ.
ඔහු ජීවතුන් අතර සිටින බව සති කිහිපයක් පුරා කියමින් සිටි සෞදි බලධාරීන් දැන් පවසන්නේ, තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට පැමිණි අවස්ථාවේ සිදුවූ ගැටුමක් හේතුවෙන් ඔහු මරණයට පත් වූ බවය.
සම්බාධක පැනවීමට අවධානය

ඡායාරූප මූලාශ්‍රය, EPA
තමන් මෙන් ම අමෙරිකානු ජනාධිපතිවරයා ද "ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන," බව මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් පළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ද පැවසුවේය.
"මාධ්‍යවේදියෙකු වූ කෂෝගි ප්‍රචණ්ඩකාරී ලෙස අනුකම්පාවිරහිතව නිහඬ කරවීම ඉවසා සිටීමට කිසිසේත් සූදානම් නැති බව පැහැදිලිව කියනවා," ඔහු අවධාරණය කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කර ඇති ප්‍රකාශය අමෙරිකාව පිළිගන්නවා ද? යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු වශයෙන් දී ඇත්තේ, "අපි පිළිගන්නේ අමෙරිකාව සොයා ගන්නා දේ පමණයි," යන්නය.
"ලෝකය පුරා අප සමග වැඩ කරන ජනතාව සිටින නිසා අපිට ම ඒක වටහා ගන්න පුළුවන්. අපේ ම දත්ත ගොනුවක් ගොඩනගාගන්න අවශ්‍යයි. අපි අපේ ම කරුණු අධ්‍යයනය කරල නිගමනයකට පැමිණෙනවා."
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, කෂෝගි ඝාතනය කිරීම සඳහා සම්බන්ධ වූ පාර්ශවවලට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවය.
මේ අතර, "වීසා රහස්‍යභාවය" රැකිය යුතු හෙයින් වීසා අවසර පත් අවලංගු කරන සැකකරුවන්ගේ නම් හෙළි කළ නොහැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු CNN වෙත පවසා තිබිණි.
වැඩිදුරටත් කියවන්න:
තුර්කි ජනපති
මේ අතර, මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය දින ගණනකට පෙර සැලසුම් කිරීමෙන් අනතුරුව කරන ලද්දක් බව තුර්කි ජනාධිපති ටයිප් අර්දොවාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් පවසා තිබේ.
ඔහු පැවසුවේ, පූර්ව සැලසුමක් සහිතව කෂෝගි ඝාතනය කළ බවටත්, ඔක්තෝබර් 2 වන දා සෞදි කොන්සල් කාර්යාලය තුළදී මෙම "කෲර" ඝාතනය සිදුවූ බවටත් ප්‍රබල සාක්ෂි තුර්කි රජය සතුව පවතින බවය.
එසේ ම, සැකකරුවන්ට එරෙහිව ඉස්තාන්බුල් හිදී ම අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සෞදි අරාබියේ ස්ථාවරය
මෙම ඝාතනයට වගකිය යුත්තේ කවුරුන් වුව ද සෞදි අරාබිය ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන බවට අඟහරුවාදා (23) නිවේදනය කෙරුණු අතර ඉන්පසු එරට සල්මාන් රජු අමාත්‍ය මණ්ඩල රැස්වීමකට සහභාගි විය.
සෞදි රාජ්‍ය මාධ්‍යවල පළ වූයේ, සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමරු රියාද්හිදී කෂෝගිගේ පුත්‍රයා වන සලාහ් (Salah) සහ පවුලේ සාමාජිකයින් සමග සාකච්ඡා කර ඇති බවය.
මේ අතර, සලාහ්ට පසුගිය වසරේ සිට සෞදි අරාබියෙන් පිටවීම තහනම් කර තිබූ බව Associated Press පුවත් සේවය වාර්තා කළේය. ඒ, සෞදි රජයට එරෙහි ඔහුගේ පියාගේ ක්‍රියා පිළිවෙත හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
කෂෝගිට අත්වූ ඉරණම සම්බන්ධයෙන් සෞදි අරාබියේ ස්ථාවරය ස්ථිරව පැවතියේ නැත.
පළමුව ඔවුන් පැවසුවේ, කෂෝගි නිරුපද්‍රිතව කොන්සල් කාර්යාලයෙන් පිටව ගිය බවය. පසුව, ඔහු කොන්සල් කාර්යාලය ඇතිවූ "අතින් පයින් කළ ගැටුමකදී" මරණයට පත්වූ බව පැවසීය. අවසානයේ පැවසූවේ, සෞදි රජය නොදැනුවත්ව "මැර මෙහෙයුමකදී" කෂෝගි ඝාතනයට ලක්ව ඇති බවය.
"මේක කරල තියෙන්නේ බලධාරීන්ගේ දැනුවත්භාවයකින් තොරවයි," සෞදි විදේශ අමාත්‍ය ඇඩෙල් අල් ජුබෙයිර් Fox News වෙත පැවසීය. "ඔවුන් විශාල අත්වැරැද්දක් කළා. එතන තියෙන ලොකු ම වරද එය සැඟවීමට උත්සහ දැරීමයි."
ඔහු වැඩිදුරටත් පැවසුවේ, කෂෝගිගේ මළ සිරුර දැමූවේ කුමන ස්ථානයක ද යන්න පිළිබඳව සෞදි අරාබිය නොදන්නා බවය.









