'දේශගුණය හා මස් කෑම' නිසා එක්සත් රාජධානියේ දේශපාලනික අර්බුදයක්

මාංශමය ආහාර නිෂ්පාදන නිසා කාබන් විමෝචනය වැඩි වශයෙන් සිදු වන හෙයින් දේශගුණය ආරක්ෂා කර ගැනීමට මාංශ අනුභවය අවම කළ යුතු බවට විද්‍යාඥයින් කරුණු දැක්වීම, එක්සත් රාජධානියේ දේශපාලනික මත ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

එක්සත් රාජධානියේ දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය ක්ලෙයාර් පෙරී බීබීසී පුවත් සේවයට පැවසුවේ, දේශගුණ හිතවාදී ආහාර වේලක් ගන්නා ලෙස ජනතාවට උපදෙස් දීම රජයේ රාජකාරියක් නොවන බව ය.

තමන් මාංශමය ආහාර අඩුවෙන් ආහාරයට ගන්නා බව හෝ නැති බව හෝ ඇය නොකියයි.

මේ ගැනත් දැනගන්න:

කෙසේ වෙතත්, අමාත්‍යවරිය සිය රාජකාරි නොතකා හැර ඇති බව Friends of the Earth නමැති පරිසර සංවිධානය චෝදනා කර ඇත. ඔවුන් පවසන්නේ, මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී අමාත්‍යවරුන් නායකත්වය ගෙන කටයුතු කළ යුතු බව ය.

දේශගුණික විපර්යාස අවම කිරීම අවශ්‍ය බවට පෞද්ගලිකව ක්‍රියාත්මක වී ඇති අමාත්‍යවරිය, ඒ සම්බන්ධයෙන් වන 'ඇඟිලි ගැසීම්' වැළැක්විය යුතු බව ද පවසයි.

අමාත්‍යවරිය මාංශමය ආහාර වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

"මම ගොඩක් කැමතියි දේශීය මස් වර්ගවලට. ජනතාවගේ ආහාර වේල් කොහොම විය යුතු ද කියල වට්ටෝරු දෙන්න අපිට බැහැ," අමාත්‍ය ක්ලෙයාර් පෙරී පැවසුවාය.

"දවස පුරා වෙහෙස මහන්සි වෙලා ගෙදර යන ජනතාවට මස් කන්න එපා කියල කොහොම ද මම උපදෙස් දෙන්නෙ?"

රාජකාරිය පැහැර හැරීමක් ද?

අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ Friends of the Earth සංවිධානයේ සාමාජික ක්‍රෙග් බෙනට් පැවසුවේ, "දේශගුණික දූෂණය වළක්වන්න තියෙන කඩිනම් පියවර මස් කෑම අඩු කිරීම කියන එක පැහැදිලියි. ඒ වගේ ම මස් කෑම අඩු කිරීම ශරීර සෞඛ්‍යයටත් හිතකරයි. ඒ මගින් ශාකමය ආහාර වගා කිරීම ද ඉහළ යනවා."

"මේක මොළයක් නැති වැඩක්. ඒ වගේ ම රාජකාරිය පැහැර හැරීමක්," බව පවසන ඔහු, මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට, පාසල් සහ රෝහල්වල ආහාර වේල් වෙනස් කිරීමට එසේත් නැතහොත් මූල්‍යමය දීමනා ලබා දීමට රජයට හැකි බව ද පවසයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරිය පවසන්නේ, "මෙම අර්බුදයේ සමස්තය දෙස බැලිය යුතු" බවය. "ඒ වගේ ම විශාල වශයෙන් ගස් වැවිය යුතු යි."

ඇයගේ අදහස වී ඇත්තේ, මාංශ අනුභවය අඩු කිරීම වෙනුවට වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් උරාගන්නා යන්ත්‍ර (මෙම යන්ත්‍ර අතිශයින් වියදම් අධිකය) භාවිත කිරීම උචිත බවය.