සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතර ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද සිට

ඡායාරූප මූලාශ්‍රය, SIA
ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන බ්‍රහස්පතින්දා (ඔක් 11) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය.
අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම ගුවන් සේවාව, සිංගප්පූරු ගුවන් සමාගම විසින් යළිත් ආරම්භ කරනු ලබන්නේ, වසර 5කට පසුව ය.
එම ගුවන් ගමන කිලෝ මීටර් 15000කට අධික දුර ප්‍රමාණයකින් යුක්ත වන අතර ඊට ගත වන කාලය පැය 18 කුත් මිනිත්තු 25ක් ලෙස අනුමාන කෙරේ.
ලොව දිගම සෘජු ගුවන් ගමන්

ඡායාරූප මූලාශ්‍රය, EPA
මීට පෙර, Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ කටාර්හි දෝහා දක්වා ගුවන් සේවාවක් ආරම්භ කළ අතර ඊට ගත වන කාලය පැය 17.5කි. Qantas සමාගම ද මේ වසරේ මුලදී ආරම්භ කළ ඔස්ට්‍රේලියාවේ පර්ත් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අතර ගුවන් සේවාව සඳහා ගත වන කාලය පැය 17ක් වේ.
සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළේ සිට නිව් යෝර්ක්හි 'නිවෝර්ක්' ගුවන් තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම මංගල ගුවන් ගමන සඳහා විශාල ඉල්ලුමක් පැවති බව සිංගප්පූරු ගුවන් සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ, කාලය ඉතිරි කර ගැනීම සඳහා නොනවතින ගුවන් ගමන් කෙරෙහි ගුවන් මගීන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බවය.
මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන සියල්ල වෙන් කිරීම් ඉක්මනින් අවසන් වූ බව එම සමාගම බීබීසී පුවත් සේවයට පැවසීය.
ආහාර පාන
ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ප්‍රධාන ආහාර දෙවරක් පිළිගන්වන අතර ඒ අතරතුර පාන වර්ග ද ලබා දීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව එම පන්තියේ මගියෙකු වෙනුවෙන් නිදා ගැනීමට ඇඳක් ද වෙන් කර ඇත.
සෙසු මගීන් සඳහා නියමිත වේලාවල් තුනකදී ආහාර පිළිගන්වන අතර, අතරතුර කාලවලදී පාන වර්ග ද ලබා දෙනු ඇත.
මෙම ගුවන් ගමන සඳහා Airbus වර්ගයේ නවතම ගුවන් යානයක් යොදා ගැනෙන අතර එහි ව්‍යාපාරික පන්තියේ ආසන 67ක් සහ සෙසු මගී ආසන 94ක් සමගින් ඇති සමස්ත ආසන සංඛ්‍යාව 161කි.

ඡායාරූප මූලාශ්‍රය, SIA
ගුවන් යානය පිළිබඳ තොරතුරු
A350-900 ULR දිගු දුර පරාසයේ (ultra-long-range) නවතම ගුවන් යානයක් මේ සඳහා යොදා ගැනෙන අතර එය ද්විත්ව-එන්ජින් ගුවන් යානයකි.
Boeing 777 වර්ගයේ ගුවන් යානය වෙනුවට නිපදවා ඇති මෙම ගුවන් යානය සඳහා Boeing 777 ගුවන් යානයට වඩා 20 - 30% අතර ප්‍රතිශතයකින් අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වේ.
2004 වසරේදී සිංගප්පූරු ගුවන් සමාගම චන්ගි ගුවන් තොටුපොළේ සිට නිවෝර්ක් දක්වා මෙවැනිම නොනවතින ගුවන් සේවාවක් ආරම්භ කළ ද, පිරිවැය අධික වීම හේතුවෙන් එම ගුවන් සේවාව 2013 වසරේදී නතර කිරීමට සිදු විය.








