බ්‍රසීල ජනාධිපතිවරණය: පළමු අදියරේ ජය උග්‍ර දක්ෂිණාංශික අපේක්ෂකයාට

REUTERS

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙයර් බොල්සොනාරෝ (වම) සහ ෆර්නැන්ඩෝ හැඩඩ් (දකුණ)

බ්‍රසීලයේ උග්‍ර දක්ෂිණාංශික සමාජ ලිබරල්වාදී පක්ෂයේ (Social Liberal Party) අපේක්ෂක ජෙයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) එරට ජනාධිපතිවරණයේ පළමු අදියර ජයග්‍රහණය කර තිබේ.

පළමු අදියරේදී 50%ක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට දෙවන අදියරේදී වාමාංශික කම්කරු පක්ෂයේ අපේක්ෂක ෆර්නැන්ඩෝ හැඩඩ් (Fernando Haddad) සමග ඔක්තෝබර් 28 වන දා තරග කිරීමට සිදුවනු ඇත.

ඡන්ද ගණන් කිරීම අවසානයේ ජෙයර් බොල්සොනාරෝට 46%ක ප්‍රතිශතයක් ලැබී තිබුණු අතර ෆර්නැන්ඩෝ හැඩඩ්ට හිමිව තිබුණේ, 29%ක ප්‍රතිශතයකි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර කරන ලද මත විමසුම් අනුව අපේක්ෂකයින් දෙදෙනා සම තත්ත්වයක පසුවනු ඇති බවට අනුමාන කෙරිණි.

Brazil election

කිසිදු සැලකිල්ලකට භාජනය නොවී පැවති සමාජ ලිබරල්වාදී පක්ෂය, ජනාධිපතිවරණයට සමගාමීව පැවති ව්‍යවස්ථාදායක මැතිවරණයෙන් පසුව එරට දේශපාලනයේ විශාලතම බලවේගය බවට පත්වීම බ්‍රසීල දේශපාලනයේ සිදුවූ භූ කම්පනයක් ලෙසට විශ්ලේෂකයින් අර්ථ දක්වා තිබේ.

දකුණු අමෙරිකාවේ විශාලතම ආර්ථිකය හිමි බ්‍රසීලය තුළ දූෂණ වංචා අධික වෙමින් පවතින බවටත්, ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් පවතින බවටත් කම්කරු පක්ෂයට චෝදනා කරමින්, සමාජ ලිබරල්වාදී පක්ෂය සිය ප්‍රචාරක කටයුතුවල නිරත විය.

පළමු අදියරේ ජයග්‍රහණයෙන් පසුව ෆේස්බුක් හරහා සජීවී ප්‍රකාශයක් කරමින් බොල්සොනාරෝ පැවසුවේ, බ්‍රසීල ජනතාවට තෝරා ගැනීමට මාවත් දෙකක් ඇති බව ය. "එක් මාවතක් වන්නේ, දෙවියන්ගේ කැමැත්ත මත සෞභාග්‍යය, නිදහස ය. එසේ නැතහොත් වෙනිසුවෙලාව ගිය මාවත තෝරා ගත හැක"

'වාමාංශිකයන්ට ඡන්දය දීම වෙනිසුවෙලාව මෙන් අවසානයට මුලකි' මේ වන විට ලතින් අමෙරකාව පුරා ව්‍යාප්ත වී ඇති ජනප්‍රිය මැතිවරණ තේමා පාඨයකි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජෙයර් බොල්සොනාරෝ ජනප්‍රිය වූ හැටි

බ්‍රසීල යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙකු වන ජෙයර් බොල්සොනාරෝ කරුණු රැසක් පිළිබඳව මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කර තිබේ.

අධිකරණයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සහ වධ හිංසා කිරීම් සම්බන්ධයෙන් නීති පැනවීම මෙන් ම මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබඳව ඔහු නිරන්තරයෙන් හඬ නැගීය.

නීතිය හා සාමය සම්බන්ධයෙන් වන ඔහුගේ මෙම දැඩි ප්‍රතිපත්ති බ්‍රසීලයේ පැවති හමුදා ඒකාධිපතිත්වය යළි සිහිගන්වන අතර, රට තුළ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය සහ අපරාධවලට එරෙහිව ආරක්ෂාවක් අපේක්ෂා කරන්නන්ගේ කැමැත්තට හේතු වී තිබේ.

මේ තොරතුරුද කියවන්න: