ඉන්දුනීසියාව: භූ කම්පනයෙන් සහ සුනාමියෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1200 ඉක්මවයි

පසුගිය සිකුරාදා (සැප්. 28) සිදුවූ භූ කම්පනයෙන් සහ සුනාමි අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 1200 ඉක්මවා ඇති බව ඉන්දුනීසියාවේ ආපදා ප්‍රතිචාර ආයතනය පවසයි.

අඟහරුවාදා (ඔක්. 02) දිනට පෙර මිය ගිය සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ, 844 කි.

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පලු ප්‍රදේශය ආසන්නයේ හටගත් මැග්නිටියුඩ් 7.5ක භූමිකම්පාවත් සමග ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති විය.

මේ වන විට විපතට පත් ජනයා දැඩි ආහාර, ජලය සහ ඉන්ධන හිඟයකින් පසුවෙති.

තවමත් සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සිටින බව ද විශ්වාස කෙරේ.

පලු නගරය ආසන්නයේ සිදුවූ බලවත් භූ කම්පනය සහ සුනාමි තත්ත්වය ඇතිවීමෙන් දින පහකට පසු ලැබෙන ඡායාරූප, විනාශයේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරයි.

භූ කම්පනයෙන් විනාඩි 30 ට පමණ පසු සුනාමි රළ පහරින් විනාශ වන විට මෙම වෙරළ තීරය උත්සවයකට සූදානම් වෙමින් පැවතිණි.