ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගුණයි කියා ආහාරයට ගන්නා යෝගට්වල 'සීනි පිරිලා'
බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ පවතින බොහෝ යෝගට්වල සීනි බෙහෙවින් ඇති බැවින් තමන් සෞඛ්‍යයට හිතකර ආහාරයක් ගන්නා බවට මහජනතාව සැනසීමට පත්නොවිය යුතු බවත් පර්යේෂකයන් පිරිසක් පවසති.
ඔවුන් මෙම නිගමනයට පැමිණ තිබෙන්නේ බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳ සැල්වල අලෙවි කෙරෙන යෝගට් 900 ක් පමණ අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.
කාබනික යෝගට් ද, සීනි අධික යෝගට් වර්ග අතර තිබෙන බව පර්යේෂණය පෙන්වා දෙයි.
ස්වභාවික සහ ග්‍රීක මාදිලියේ යෝගට් පමණක් සීනි අඩු යෝගට් ලෙස වර්ග කළ හැකිය.
මෙම අධ්‍යයනය සිදුවුයේ පාරිභෝගිකයන් අතර සීනි පරිභෝජනය අවම කිරීමට බ්‍රිතාන්‍ය රජයේ සෞඛ්‍ය නිලධාරීන්, නිෂ්පාදකයින් දිරිගන්වමින් සිටින අතරවාරයේය.
බ්‍රිතාන්‍ය මහජන සෞඛ්‍ය අංශය මගින්, ගුණාත්මක වශයෙන් දියුණුවක් පෙන්වියයුතු ආහාර වර්ග අතරින් එකක් ලෙස යෝගට් ද හඳුනාගෙන තිබේ.
ඒ අනුව වැඩියෙන්ම සීනි පවතින්නේ යෝගට් අඩංගු අතුරුපසවලය, ඒ අනුව යෝගට් ග්‍රෑම් 100 ක තුළ සාමාන්‍යයෙන් ග්‍රෑම් 16.4 ක් සීනි පවතී. යෝගට් නොවන විවිධ නිෂ්පාදන ද 'යෝගට් අඩංගු අතුරුපස' කාණ්ඩයට ඇතුළත් වේ.
සීනි ප්‍රමාණය වැඩිම දෙවැනි වර්ගය වන්නේ කාබනික යෝගට් වර්ග වන අතර ඒවායේ ග්‍රෑම් 100 ට ග්‍රෑම් 13.1 ක් ම සීනිය.
දරුවන්ගේ යෝගට් තුළ සාමාන්‍ය වශයෙන් ග්‍රෑම් 100 ක් තුළ ග්‍රෑම් 10.8 ක ප්‍රමාණයක් සීනි ඇතුළත් වන බව ද අධ්‍යයනයෙන් හෙළිවිය.
වයස අවුරුදු 4 - 6 අතර දරුවන්ට දිනකට ග්‍රෑම් 19 ට වඩා සීනි අහිතකර බවත්, අවරුදු 7 - 10 වයසේ දරුවන් ග්‍රෑම් 24 ට අඩුවෙන් සීනි පරිභෝජනය කළ යුතු බවත් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය නිර්දේශ කරයි.
අඩු සීනි සහිත යෝගට් ලෙස වර්ග කිරීමට ග්‍රෑම් 100 ක සීනි අඩංගු විය යුත්තේ ග්‍රෑම් 5 ට අඩුවෙනි. නමුත් බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ ඇති යෝගට්වලින් මෙම තත්ත්වය ඇත්තේ 9% ක ප්‍රමාණයකි.