ඉන්දුනීසියාව: ලොම්බොක් දිවයිනේ නැවත හටගත් භූමිකම්පාවෙන් පිරිසක් මරුට

භූකම්පනයෙන් අනතුරුව

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව පුද්ගලයින් 91 දෙනෙකුවත් මියගොස් ඇතැයි වාර්තාවී ඇත.

ඉරිදා හටගත් භූකම්පාව නිසා සියගණනක් තුවාල ලැබූ අතර ඒ බොහෝ දෙනා දිවයිනේ උතුරු කොටසේ වෙසෙති.

මැග්නිටියුඩ් 6.9ක ප්‍රබලත්වයකින් යුතු වූ භූකම්පනය පොළොව අභ්‍යන්තරයේ එතරම් ගැඹුරින් නොවූ අතර කිලෝමීටර 30 ක් (සැතපුම් 18) ක් පමණ විය. ගොඩනැගිලි දහස් ගණනකට ඉන් හානි වූ අතර විදුලි බලය ද බිඳ වැටිණි.

දහසක් පමණ වූ විදේශ සංචාරකයින් ආසන්නයේ ඇති 'ගිලි' දුපතින් ඉවත් කර ගැනෙන අතර බාලි හිදී එක් අයෙකු මියගොස් තිබේ.

ලොම්බොක් හි සිට බටහිරින් වූ බාලි දුපතෙන් ලද වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කෙරුණු ආකාරයට ජනතාව සිය නිවෙස්වලින් ඉවත්ව දිව ගියේ කෑ ගසමිනි.

ඉරිදා හටගත් භූකම්පනයෙන් අනතුරු 130 ට වැඩි පසු කම්පන ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ලොම්බොක්

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණ ද පැය කීපයකට පසු එය ඉවත් කෙරිණි. මේ තත්ත්වය හට ගැනුනේ මීට සතියකට පෙර දී සංචාරකයින්ගේ සිත්ගත් ස්ථානයක් වූ ලොම්බොක් දිවයිනට තවත් භූමිකම්පාවක් හටගෙන සතියක් ඉක්මගිය විටය. එවර 16 දෙනෙක් මිය ගියහ.

ප්‍රමාණයෙන් විශාල බාලි දුපතේ සිට බටහිරට වන්නට පිහිටි ලොම්බොක් දිවයින දළ වශයෙන් වර්ග කිලෝමීටර 4,500 ක (වර්ග සැතපුම් 1,700) ප්‍රදේශයක් පුරා පැතිර තිබේ.

දුපත් දෙකේ පිළිවෙලින් මිලියන හතරක සහ මිලියන තුනක පමණ ජනතාවක් වෙසෙති. නමුත් වාර්ෂිකව මිලියන ගණනක් සංචාරකයින් පිරිසක් ලොව නන් දෙසින් ඒ වෙත පැමිණෙති.

ලොම්බොක්

බාලි කම්පනය

බාලි දිවයිනට ද මෙම කම්පනය තත්පර කිහිපයකට දැනිණි.

බීබීසී සමග සිය අත්දැකීම පැහැදිලි කළ එක් අයෙකු, "මුලින් ඉතා සුලු කම්පනයක් ලෙස දැනුනත් පස්සෙදී එන්න එන්න විශාල වුණා. 'භූමිකම්පාවක්' කියලා මිනිස්සු කෑ ගහන්න පටන්ගත්තා. හැම දෙනාම කලබලවෙලා ගොඩනැගිල්ලෙන් එලියට දිව්වා" යැයි පැවසීය.

සිය නිවාඩුව සඳහා බාලි වෙත පැමිණ සිටි නිරූපණ ශිල්පිනියක හා ඉදිරිපත්කරන්නියක වන ක්‍රිසී ටීජන් පැවසුවේ තත්පර 15 පමණ කම්පනය පැවතීමෙන් අනතුරුව "පසු කම්පන විශාල ප්‍රමාණයක්" ද ඇති වූ බවය.

භූ කම්පනය හටගන්නා අවස්ථාවේදී සිංගප්පුරු ස්වදේශ කටයුතු ඇමති කේ. ෂන්මුගම් ද ලොම්බොක් හි ආරක්ෂක සම්මන්ත්‍රනයකට එක්වෙමින් සිටියේය.

සිය හෝටල් කාමරය දෙදරූ අයුරු සිය ෆේස්බුක් ගිණුමේ විස්තර කර තිබුණේ "හිටගෙන සිටීමත් අසීරු වුණා" යනුවෙනි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු හා ආගමන කටයුතු පිළිබඳ ඇමති පීටර් ඩටන් ද එම සම්මන්ත්‍රණයට එක්ව සිටි අතර ඉන්දුනීසියානු පොලිසිය හා බලධාරීන් ගත් පියවරට ස්තුතිවන්නට සිය නියෝජිත පිරිස නිරුපද්‍රිත බව ඔහු පවසා තිබිණි.

ඕස්ට්‍රේලියානුවන් කිසිවකු අනතුරට පත් වී දැයි යන්න ගැන මෙතෙක් වාර්තා නොවන බව සඳුදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසීය.