ඉන්දුනීසියාව : බාලි දුපතේ අගුං යමහල නුදුරේදීම විශාල ලෙස විදාරණයවීමේ අවදානමක්
ඉන්දුනීසියාවේ බාලි දුපතේ අගුං යමහල නුදුරේදීම විශාල ලෙස විදාරණයවීමේ අවදානම හමුවේ එම යමහල වටා හඳුනාගෙන පැවති ජනයා ඉවත් කිරීමේ කලාපය තවදුරටත් පුලුල්කොට තිබේ.
ඒ සමග අනතුරු සූදානම ඉහළම මට්ටමට එසවීමට එරට බලධාරීහු පියවර ගත්හ.
ඉතා ප්‍රකට සංචාරක ගමනාන්තයක්වන බාලි දූපතේ ගුවන් තොටුපොළ මේ වනවිට වසා දමා ඇති බැවින් දහස් ගණනක් කොටුවී සිටිති.
අදුරු පැහැ දුමාරය මෙන්ම අළු ද අගුං යමහල මුදුනේ සිට මීටර 3,400ක් (අඩි 11,150ක්) තරම් උසට මුදාහැරෙන අතර ගිනිදළු ද නැගෙන බව බලධාරීන් පවසයි.
කන්දෙන් පහළට ඇදී ආ ගල් හා සුන්බුන් වෙතින් ඈත්ව සිටින ලෙස නිලධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා ඇත.

කොතරම් ඉක්මණින් විශාල විදාරණයක් සිදුවේද ?
"නුදුරේදී මතුවිය හැකි අවදානම හා ආපදාව" හේතුවෙන් එරට වේලාවෙන් උදෑසන 6:00 (ඉරිදා ග්‍රිනිච් වේලාව 22:00) සිට අවදානම් සූදානම 4 වෙනි තත්ත්වයට එසවීමට ජාතික ආපදා කළමනාකරණ මණ්ඩලය පියවර ගත්තේය.
"නොකඩවා අළු විදීම" දැකිය හැකි අතර ඉඳහිට මතුවන "පිපුරුම් විදාරණ" හා "දුර්වල ශබ්ද" කිලෝමීටර 12ක් (සැතපුම් 7ක්) දුරට ඇසිය හැකිය.
"රාත්‍රී කාලයේදී ගින්දර ඉහළ නගිනු පෙනෙනවා. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ විශාල ප්‍රමාණයේ විදාරණයක් නුදුරේම සිදුවිය හැකි බවයි." යැයි ආපදා කළමනාකරණ මණ්ඩලය ඉන්දුනීසියානු බසින් වූ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.
බීබීසී සමග අදහස් පළකළ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාඥ මාර්ක් ටින්ගේ පැවසුවේ පෙනෙන්නට ඇති ආකාරයට මැග්මා විදාරණයක් සහිත ඊළඟ අදියරටය අගුං කන්ද දැන් එළඹෙමින් සිටී.
එහෙත් විදාරණයන් පුරෝකතනය කිරීම පහසු නැතැයි කියා සිටි ඔහු, තත්ත්වය කොයි ආකාරයට වර්ධනයවේදැයි පැවසීම "ඉතා අසීරු" බවය. "මෙවැනි විදාරණ තරමක් විශාල විය හැකි අතරම ප්‍රචණ්ඩ ද විය හැකියි. නමුත් කල් යන විට ඒවා තරමක් සුළු ඒවා ද විය හැකියි."
කිසියම් විදාරණ අවස්ථාවක් සඳහා ඉන්දුනීසියානු බලධාරීන් මාස ගණනක සිට ම සූදානම් වෙමින් සිටියේ යැයි පවසන ඔහු "අතිශය හොඳ සූදානමක්" පෙනෙන්නට තිබෙනවා යැයි ද කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සංචාරකයින් කනස්සලු විය යුතු ද ?
කුටා සහ සෙමින්යක් අතර වූ ප්‍රධාන සංචාරක කලාපය යමහළේ සිට කිලෝමීටර 70ක් (සැතපුම් 43ක්) දුරින් පිහිටි අතර එය ආපදා සීමා කලාපයෙන් බොහෝ එපිටින් ඇති ප්‍රදේශයකි.
නමුත් විහිදී යන අළු හේතුවෙන් බාලි දුපතේ න්ගුරාහ් රායි ගුවන් තොටුපොළ සඳුදා සිට අඟහරුවාදා උදෑසන තෙක් වසා දැමීමට බලධාරීන්ට සිදුවිය. එම කාලය තුළ සියලු ගුවන් ගමන් අවලංගු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, HOLLY PELHAM
ගුවන් ගමන් අවලංගුවීම් සඳහා සුදානම්වන ලෙසත්, දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙස හා දේශීය බලධාරීන්ගේ අනතුරු හැඟවීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඔස්ට්‍රේලියානු රජය හා එක්සත් රාජධානි විදේශ අමාත්‍යාංශය සංචාරකයින්ට දන්වා තිබේ.
එසේම චීනය ද සිය පුරවැසියන් වෙත දැනුම් දීමක් කරමින් ඉල්ලා සිටියේ බාලි වෙත යන්නේ නම් " අවධානයෙන්" පසුවන ලෙසය.
ආසන්නයේ ඇති ලොම්බොක් දිවයිනේ ගුවන්තොටුපොළ කෙටි කාලයකට වසා තබුනද සඳුදා යළි විවෘත කෙරිණි.
මෙය ඉන්දුනීසියාවට සාමාන්‍ය තත්ත්වයක් ද ?

පසුගිය සතියේදී අගුං යමහල ඝන දුමාරය මුලින්ම පිට කිරීමට පටන්ගත්තේ වසර 50 ට අධික කාලයකට පසුය.
ශාන්තිකර සාගර කලාපයේ පෘථිවි භූ තල ගැටීම හේතුවෙන් නිතර භූ සහ යමහල් ක්‍රියාකාරීත්ව හටගන්නා "රිං ඔෆ් ෆයර්" (Ring of Fire) ලෙස හැඳින්වෙන කලාපයේ ඉන්දුනීසියාව පිහිටා ඇත.
ක්‍රියාකාරී තත්ත්වයේ පවත්නා යමහල් 130 ට වැඩි ප්‍රමාණයක් එහි වේ.
1963 වසරේදී අගුං කන්ද අවසන් වරට විදාරණය වූ අවස්ථාවේදී දහසකට වැඩි පිරිසක් මියගියහ.

මේ තොරතුරුද දැනගන්න:









