සාප්පු රැකියාව අතරතුර "ඉඳ ගැනීමේ අයිතිය" දිනාගත් ඉන්දීය කාන්තාවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සේවිකාවන්ගේ "ඉඳ ගැනීමේ අයිතිය" දිනා ගැනීමට දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ කාන්තා වෘත්තීය සමිතියක් සමත් වී තිබේ. ඔවුන්ගේ අයිතීන් දිනාගැනීමේ දුෂ්කර සටන පිළිබඳ බීබීසී හින්දි සේවයේ ඉම්රාන් කුරේෂි ගෙන එන වාර්තාවකි මේ.
මායා දේවි වසර ගණනාවක් රැකියාව කළේ රෙදිපිළි සාප්පුවකය. රෙදි රෝල් සහ සාරි සාප්පුවේ රාක්කවලින් ඉවතට ගෙන පාරිභෝගිකයන්ට පෙන්වීම ඇයගේ රැකියාවේ එක් අංගයක් විය. නමුත් රැකියාව කරන අතරතුර ඇයට කිසි දිනක අසුන් ගැනීමට නොහැකි බව ඇය පැවසුවාය.
"පාරිභෝගිකයන් සාප්පුව ඇතුළේ නැති වෙලාවටවත් අපිට ඉඳ ගන්න දෙන්නේ නැහැ," ඇය පැවසීය. එමෙන්ම, වැසිකිළියට යෑමටවත් විවේක කාලයක් ලබා නොදෙන බව මායා දේවි තවදුරටත් පැවසීය.
කෙසේවෙතත්, ඇයගේ අත්දැකීම් අසාමාන්‍ය තත්වයක් නොවේ. කේරළ ප්‍රාන්තය තුළ තිබෙන රෙදිපිළි, ආභරණ සාප්පු ඇතුළු වෙනත් සිල්ලර භාණ්ඩ විකුණන කඩ සාප්පු අයිතිකරුවන්, එහි සේවිකාවන්ට රැකියා ස්ථානයේ සිටින අනෙක් අය සමග කතා බහ කිරීම සහ වැඩි කාලයක් සිටගෙන සිටීම නිසා ඇතිවන අපහසුතාව මඟහැර ගැනීමට බිත්තියට හේත්තු වීම පවා තහනම් කර ඇති බව කාන්තාවෝ පවසති.
ඉහත කී නියෝග පිළිපැදීමට අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ වැටුපෙන් යම් කොටසක් අඩු කිරීමට ද අයිතිකරුවන් කටයුතු කරන බව ඔවුහු පැවසූහ.
මේ තොරතුරුද දැනගන්න:
මෙම නීතිරීති බොහෝ සාප්පුවල දක්නට ලැබෙන අතර, අවසානයේදී සිල්ලර භාණ්ඩ ව්‍යාපාරවල රැකියාවේ නියුතු කාන්තාවන් ඔවුන්ගේ "ඉඳ ගැනීමේ අයිතිය" වෙනුවෙන් සටන් වැද එය ජයග්‍රහණය කළහ. සේවකයන්ට අසුන් ගැනීමේ අයිතිය ලබා දීම සඳහා අදාළ කම්කරු නීති වෙනස් කරන බව ජූලි 4 වෙනිදා කේරළ ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කළේය.
"සිදු වෙන්න ඕනෑ නැති දේවල් සිදුවෙමින් පවතිනවා. ඒක නිසා අපි නව නීති හඳුන්වා දී තිබෙනවා. කාන්තාවන්ට අනිවාර්යයෙන්ම අසුන් ගැනීමට ඉඩ දිය යුතු අතර, වැසිකිළියට යෑමට අවශ්‍ය පමණ වෙලාව ලබා දිය යුතුයි," යැයි කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
නව නීති අනුව කාන්තාවන්ට වැසිකිළි යෑමට විවේකයක් ලබා දිය යුතු අතර, ඔවුන්ට වැසිකිළිවලට ඇතුළු වීමේ පහසුකම්ද සලසා තිබිය යුතුය. මෙම නීති පිළිපැදීමට අපොහොසත් වන කඩ සාප්පු හිමියන් දඩ මුදලකට යටත් කළ හැකි බව නිලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, COURTESY VIJI PALITHODI
"මෙය ඉතාම මූලික අවශ්‍යතාවක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් පුද්ගලයෙකුට ඉඳ ගන්න, වැසිකිළියට යන්න හෝ වතුර බොන්න විවේක කාලයක් ලබා දෙන නීතියක් අවශ්‍ය නැති බව," යැයි අසල්වැසි කර්ණාටක ප්‍රාන්තයේ වෘත්තීය සමිති නායිකාවක් වන මයිත්‍රේයි (Maitreyi) සඳහන් කළාය.
"මේ දේවල් කේරළ ප්‍රාන්තයේ විතරක් සිදුවන දේවල් නෙවෙයි. අනිත් ප්‍රාන්තවලත් මේ වගේ දේවල් වෙනවා," යැයි ඇය පැවසුවාය.
සිල්ලර භාණ්ඩ ව්‍යාපාරික ස්ථානවල වැඩි වශයෙන් රැකියාවේ යෙදෙන්නේ කාන්තාවන්ය. නමුත් ඔවුන්ට ඇති නීතිමය ආරක්ෂාව අවම තත්වයක පවතී. ඔවුන් බොහෝ විට රැකියාවේ නිරත වන්නේ අඩු පහසුකම් යටතේය. එමෙන්ම, ඔවුන්ට ලැබෙන්නේ ඉතා සුළු වැටුපක් වන අතර, ප්‍රතිලාභ නොලැබෙන තරම්ය. සියලු ප්‍රතිලාභ සහිත රැකියාවල නිරත වන්නේ ඉන්දියානුවන්ගෙන් 7%ක් පමණි.
43 හැවිදිරි මායා දේවි පැවසුවේ ඇයට කිසි දිනෙක සෞඛ්‍ය රක්ෂණයක් හෝ විශ්‍රාමික වැටුපක් වැනි ප්‍රතිලාභ නොලැබුණු බවය. වැඩි වැටුප් සහ ප්‍රතිලාභ ඉල්ලීමේ අරමුණින් සිය රැකියාවේ මිතුරන් සමග එකතු වී වෘත්තීය සමිතියක් පිහිටුවීමට උත්සහ කළ නිසා ඇයට 2014 දී රැකියාව අහිමි විය.

ඡායාරූප මූලාශ්‍රය, COURTESY VIJI PALITHODI
සිය අයිතීන් දිනා ගැනීමට සටන් වැදීමට තමන් දිරිගැන්වූයේ "ඉඳ ගැනීමේ අයිතිය" දිනාගැනීමේ සටනේ නායිකාව ලෙස කටයුතු කරන 48 වියැති විජී පලිතෝඩි වන බව මායා දේවි පැවසීය.
විජී පලිතෝඩි ඇඳුම් මසන ස්ථානයක සිය පළමු රැකියාව ආරම්භ කරන විට ඇය දාසය වියැති දැරියකි. ඇයගේ රැකියා කාලය තුළ මායා දේවි වැනි කඩ සාප්පුවල රැකියා කරන බොහෝ කාන්තාවන් හමු වී ඇති බව විජී පලිතෝඩි පැවසුවාය.
තවත් තොරතුරු:
ඔවුන් මුහුණ දෙන සිද්ධීන් ගැන ඇසූ පසු, සිදු වන අසාධාරණයට විරුද්ධව යමක් කිරීමට ඇය අදිටන් කරගෙන තිබේ. කාන්තාවන් නියැලෙන රැකියාවේ ස්වභාවය සහ එයට ලැබෙන වැටුප සංසන්දනය කර බැලීම සඳහා වසර කීපයකට පෙර ඇය රැස්වීම් සංවිධානය කිරීමට කටයුතු කළාය.
"සරත් සෘතුවේදී පවා රැකියාව කරන අතරතුර වතුර ටිකක් බොන්න බැරි වුණ හැටි කාන්තාවන් හඬා වැලපෙමින් කියා සිටියා. ඔවුන්ට වැසිකිළි යන්න බැරි වීම නිසා රෝගී වෙන්න පටන් ගෙන තිබුණා," යැයි විජී පලිතෝඩි පැවසීය.
බොහෝ කාන්තාවන්ට අසුන් ගැනීමට අවසර නැති බව ඇය පැවසුවාය.
"රැකියා ස්ථානයේ කළමනාකරුවන් සීසීටීවී කැමරා ඔස්සේ ඔවුන්ගේ සේවිකාවන් නිරීක්ෂණය කරනවා. සාප්පුවේ පාරිභෝගිකයන් නැති වෙලාවට හරි කාන්තාවක් ඉඳගෙන ඉන්නවා දැක්කොත් ඔවුන්ගේ පඩියෙන් කොටසක් අඩු කරනවා," ඇය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වැසිකිළි යෑමට අත්‍යවශ්‍ය නම් සිය යට ඇඳුමට ප්ලාස්ටික් බෑගයක් සවි කරගන්නා ලෙස සමහර කළමනාකරුවන් සහ අයිතිකාරයන් කාන්තාවන්ට පවසා ඇති බව විජී පලිතෝඩි පැවසුවාය. එමෙන්ම, කාන්තාවන් රැකියාවට රැගෙන එන කුඩා වතුර බෝතලය මුත්‍රා කිරීමටදැයි පිරිමි සේවකයන් අසා සිටින බව සමහර කාන්තාවන් පවසා තිබිණි.
"මේ දේවල්වලින් ඔවුන් පීඩාවට පත් වෙලා හිටියේ. ඒ නිසා තමයි අපි වෘත්තීය සමිතියක් ආරම්භ කරන්න සිතුවේ," යැයි විජී පලිතෝඩි පැවසීය.
2009 වර්ෂයේදී ඇය 'පෙන්කූටම්' ලෙස හැඳින්වෙන කණ්ඩායමක් සංවිධානය කළාය. පෙන්කූටම් යන්නේ තේරුම "කාන්තාවන් පිරිසක්" යන්නයි. මෙය වෘත්තීය සමිතියක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වී කේරළයේ දිස්ත්‍රික්ක කීපයක පැතිරී ගියේය.
"ඉඳ ගැනීමේ අයිතිය" වෙනුවෙන් පමණක් නොව රැකියා ස්ථානයේ පහසුකම් සහ වැඩි වැටුප් ලබා ගැනීම සඳහා ද වර්තමානයේ දී පෙන්කූටම් විශාල වශයෙන් සටන් වදිමින් සිටී.
එක්තරා කාලයකදී කාන්තාවක් පැය 8-10ත් අතර කාලයක් සාප්පුවක රැකියාවේ නිරත වූ පසුත් ඇයට දිනකට ලැබෙන වැටුප ඩොලරයකටත් වඩා අඩු වූ බව විජී පලිතෝඩි පැවසුවාය. නමුත් වසර කිහිපයක සටනකින් පසු වර්තමානයේදී දිනකට ඩොලර් අටක් දක්වා වැටුපක් හිමි කරගැනීමට සමත් වූ බව ඇය පැවසීය.
"අපි නිලධාරීන්ට මේ අසාධාරණ ගැන පැමිණිලි කළාම, ඔවුන් පැවසුවේ රැකියා කාලය තුළ ඉඳ ගන්න ඉඩ දීමේ නීතියක් නැති බවයි."
කෙසේනමුත්, මෙම නීතිය ඉතා ඉක්මනින් බලාත්මක වුවත්, ඔවුන්ගේ සටන නවත්වන්නේ නැති බව ඇය තවදුරටත් පැවසීය.
නව නීති ක්‍රියාත්මක වුවාට පසුව "සාධාරණය ඉටු වෙලාද කියා අපි තීරණය කරනවා. එසේ නැත්නම්, අපි නැවතත් සටන් අරඹනවා."








