ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ග්‍රීසියේ ලැව් ගිනි: 50 දෙනෙක් පමණ මියගිය බවට වාර්තා
දශකයකට වඩා වැඩි කාලයක් තුළ ග්‍රීසියේ හටගන්නා ලද දරුණුතම ඛේදවාචකය සටහන් කරමින් ඇතන්ස් නගරයට ආසන්න ඈටිකා (Attica)ප්‍රදේශයේ හටගත් ලැව් ගිනිවලින් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තාවේ.
රතු කුරුස සංවිධානයට අනුව පුද්ගල මළ සිරුරු 26 ක් මුහුදට ආසන්න මාටි (Mati) ගම්මානයේ නිවාඩු නිකේතනයක තිබියදී හමුවී තිබේ. එය මෙම ලැව් ගින්නේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකේ.
මෙම සිරුරු සොයා ගැනීමට ප්‍රථම මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 24 ක් ලෙස නිල වාර්තා සඳහන් කළේය.
පුද්ගලයන් ඉවත් කිරීම සඳහා දියත් කර ඇති විශාල ගලවා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා යොදාගෙන ඇත.
ගින්න ඇතිවූ අවස්ථාවේ බෝට්ටුවක් ආධාරයෙන් මුහුදට ගොස් ඇති සංචාරකයන් දස දෙනෙක් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකවන බව නිලධාරීහු පවසති.
ගිනි නිවන භටයන් සිය ගණනක් තත්ත්වය පාලනය කිරීමට යත්න දරමින් සිටින අතර රජය අන්තර් ජාතික සහාය ඉල්ලා ඇත.
"මිනිස් බලයෙන් කළ හැකි සියල්ලක්ම කරමින් මෙය පාලනය කිරීමට අප කටයුතු කරනවා" අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්‍රාස් (Alexis Tsipras) වාර්තාකරුවන්ට පැවසීය.
බොහෝ පුද්ගලයන් විපත සිදුවූ ඇතන්ස් නගරයට කි.මි. 40 ක් ඊසාන දෙසින් පිහිටි මාටි ගම්මානයේ සිරවී ඇති අතර, ඔවුන්ගේ නිවෙස් තුළම හෝ රථවාහන තුළ මියගොස් ඇත.
ගම්මානය රෆීනා (Rafina) ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය දේශීය සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් කලාපයකි. විශේෂයෙන් ලැව්ගින්න හටගත් අවස්ථාව වනවිට විශ්‍රාමිකයන් සහ කුඩා දරුවන් මෙහි කඳවුරු බැඳ සිටි බව රොයිටර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
අනතුරින් පුද්ගලයන් 104 ක් පමණ තුවාල ලබා ඇති අතර ඉන් එකොළොස්දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ඇත. මේ අතර දරුවන් 16 ක් ද සිටින බව වාර්තාවේ.
මේ අතර, ග්‍රීසිය ද ආවරණය කරමින් සේවා සපයන රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී, අදාළ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් වාසය නොකරන බවත්, ගින්නෙන් ශ්‍රී ලාංකිකයෙක්ට අනතුරක් සිදුවී ඇති බවට මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව එහි ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
සබැඳි පුවත්: