පාවහන් පැළඳීම සහ නම වෙනස් කිරීමත් 'වරදක්': ඉන්දියාවේ දලිත් වංශිකයන්ගේ වේදනාව

Caste clashes - India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියාවේ පීඩිත දලිත් වංශිකයන්ට තර්ජනය කිරීම්, පහර දීම් සහ ඝාතනය කිරීම් විශාල ප්‍රමාණයක් පසුගිය මාසය පුරා වාර්තා විය. මෙම සියලු අපරාධ සිදු වී ඇත්තේ ඉතා සුළු හේතු මුල්කොටගෙනය.

පසුගිය ඉරිදා (17) අශ්වයෙකු පිට නැග සිය විවාහ මංගල්‍ය උත්සවයට යමින් සිටි දලිත් වංශික මනමාලයාට තර්ජනය කළ පිරිසක්, එය ඉහළ යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන්ගේ වරප්‍රසාදයක් බව පවසා ඇත.

දලිත් වංශිකයන්ට එරෙහිව පසුගිය මාසය ඇතුළත පමණක් සිදු වූ පහරදීම් සහ තර්ජනය කිරීම්වලට මුල් වූ සිදුවීම් පහක් මෙම ලිපියෙහි දක්වා තිබේ.

සිය මංගල උත්සවයට අශ්වයෙකු පිට නැගී ගමන් කිරීම

දලිත් කුලයට අයත් පුද්ගලයෙකු වන ප්‍රශාන්ත් සෝලංකි ජූනි 17 වන දින ඉතා අලංකාර ලෙස සැරසූ අශ්වයෙක් මත නැගී ඔහුගේ මංගල උත්සවය සඳහා පිටත් විය. මෙය මංගල උත්සවවල දැකිය හැකි සාමාන්‍ය ඉන්දියානු චාරිත්‍රයකි.

මේ අතර ඔහුගේ ගම්මානයේ ඉහළ යයි සම්මත කුලයට අයත් ලෙස සැලැකෙන පුද්ගලයන් කණ්ඩායමක් සැඟවී සිට ඔහුගේ ගමන් මාර්ගය අවහිර කරන ලදී. අශ්වයෙක් පිට ගමන් කිරීම ඉහළ කුලයට අයත් වරප්‍රසාදයක් ලෙස පැවසූ ඔවුන් ප්‍රශාන්ත් සහ ඔහුගේ පවුලේ අයට පහර දෙන බවට තර්ජනය කළහ.

ජීවිත අවදානම ගැන බිය වූ ප්‍රශාන්ත් සිය මනාලියගේ නිවසට පැමිණියේ පොලිස් භටයින් සමගය. විවාහ මංගල්‍යය උත්සවයට ද ආරක්ෂාව යෙදීමට පොලීසිය කටයුතු කර තිබුණි.

දලිත් ජාතිකයෙකු සිය මංගල උත්සවයකට අශ්වයෙකු පිට යෑම හේතුවෙන් තර්ජන එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 දී මධ්‍ය ප්‍රදේශ්හි අශ්වයෙකු පිට ගිය දලිත් මනමාලයෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

දෙපා පටලවා හිඳ ගැනීම

තමිල්නාඩුවේ හින්දු කෝවිලක චාරිත්‍ර ඉටු කරන අවස්ථාවේ දී එය ඉදිරිපිට දලිත් පුද්ගලයන් දෙදෙනෙකු දෙපා පටලවා හිඳ ගෙන සිටි වරදට ඔවුන් මරා දමනු ලැබිණ.

Caste clashes - India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කුල ක්‍රමයට එරෙහිව නැගී සිටින ඉන්දියානු වැසියන්

උසස් යයි සම්මත කුලයට අයත් පහළොස් දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් දලිත් පුද්ගලයන්ගේ නිවෙස් අසල සැඟවී සිට මෙම පහරදීම් සිදු කර ඇත්තේ ඔවුන් "නින්දිත සහ අපහාසාත්මක" ලෙස හැසිරුණ බව පවසමිනි. මෙහිදී පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර නිවාසවලටද හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් Indian Express පුවත්පතට පවසා සිටියේ "තුවාල ලැබූ පුරුෂයන්ගේ සිරුරුවල දෑකැතිවලින් සිදු කළ ගැඹුරු කැපුම් තුවාල දක්නට තිබුණා" යනුවෙනි.

පිහිනීමේ වරදට ඇඳුම් ඉරා දමා පහර දීම

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයක උසස් යයි සම්මත කුලයට අයත් පුද්ගලයන්ගේ ළිඳක පිහිනීමේ වරදට දලිත් කුලයට අයත් පිරිමි ළමුන් තිදෙනෙකුගේ ඇඳුම් ඉරා දමා, පහර දී, නිරුවතින් ගම්මානය මැද්දෙන් රැගෙන යාමට කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය.

Caste clashes - India

ඡායාරූප මූලාශ්‍රය, BBC MARATHI

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ළිදෙහි පිහිනීමට හිය දලිත් කුලයට අයත් පිරිමි ළමුන් තිදෙනෙකුගේ ඇඳුම් ඉරා දමා, පහර දී, නිරුවතින් ගම්මානය මැද්දෙන් රැගෙන යාමට කටයුතු කර ඇත

කොළ අතුවලින් සිරුර ආවරණය කරගෙන සිටින පිරිමි දරුවන් දෙදෙනෙකුට පුද්ගලයෙකු කෝටුවකින් සහ බඳ පටියකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ පළ කර තිබේ. එහි පසුබිමෙහි තවත් පුද්ගලයන් සිනාසෙන හඬ ඇසෙන්නට තිබේ.

"ආයෙත් පහර දෙයි කියලා අපි බයෙන් ඉන්නේ," සිද්ධියට මුහුණ දුන් දරුවෙකුගේ මවක් බීබීසී මරාති සේවයට පැවසුවාය. ඇය මෙම සිද්ධිය කෙතරම් බරපතළ දැයි වටහාගෙන ඇත්තේ අන්තර්ජාලයේ පළ වූ වීඩියෝව නැරඹීමෙනි.

ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මේ තොරතුරුද කියවන්න:

'රාජකීය' පාවහන් පැලඳීම නිසා පහර දීම

උසස් යයි සම්මත කුලයට අයත් පුද්ගලයන් පළඳින සම් වර්ගයකින් තැනූ පාවහන් යුගලයක් පැළඳ සිටියේ යැයි 13 හැවිරිදි වියේ පසුවන දලිත් කුලයට අයත් මහේෂ් රතෝඩ්, ගුජරාට ප්‍රාන්තයේ දී පහර කෑමට ලක්විය. "මොජ්රිස්" ලෙස හැඳින්වෙන මෙම පාවහන් සාම්ප්‍රදායික රාජකීය පාවහන් ලෙස සැලකේ.

Caste clashes - India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මොජ්රිස්" ලෙස හැඳින්වෙන මෙම පාවහන් සාම්ප්‍රදායික රාජකීය පාවහන් ලෙස සැලකේ

මහේෂ් වෙත පැමිණි පුද්ගලයන් පිරිසක් කුමන කුලයට අයත් දැයි ඔහුගෙන් විමසා ඇති අතර ඔහු දලිත් වංශිකයෙකු යැයි පිළිතුරු ලබා දී තිබේ. ඉන්පසු, "උසස් කුලයක කෙනෙකු විදියට ඉන්න ද මොජ්රිස් සෙරෙප්පු දමාගෙන රත්තරන් මාලයක් පැළඳගත්තේ" යැයි අසමින් ඔහුට පහර දුන් බව මාධ්‍ය වාර්තා කර සිටී.

පුද්ගලයන් කීපදෙනෙකු මහේෂ්ට කෝටුවකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල පිරිසක් නරඹා තිබුණි.

මෙම සිද්ධියෙන් පසු මහේෂ්ට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තාවේ.

තවත් තොරතුරු:

ෆේස්බුක් නාමය නිසා හටගත් ප්‍රචණ්ඩත්වය

22 හැවිරිදි මොලික් ජාදව් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ නමට තවත් කොටසක් එකතු කිරීම හේතු කොටගෙන ගුජරාට් ප්‍රාන්තයේ දලිත් වංශිකයන් සහ උසස් කුලවලට අයත් පුද්ගලයන් අතර ගැටුම් ඇති වී තිබේ.

මොලික් ඔහුගේ නමට 'Sinh' යන කොටස එකතු කර ඇති අතර, එය ප්‍රාන්තයේ උසස් යැයි සම්මත කුලවලට අයත් පුද්ගලයන් සිය නමට එකතු කරගන්නා කොටසකි.

"මගේ Maulik (මොලික්) කියන නම 'Mauliksinh' කියල වෙනස් කළා. මම හිතුව අපිට කැමති නම තෝරා ගන්න නිදහස තිබෙනවා කියලා," ඔහු හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණි.

මේ සමග ඔහුට ෆේස්බුක් සහ දුරකථනය ඔස්සේ විවිධ පුද්ගලයන් තර්ජනය කර ඇති අතර, "මගේ නමින් 'Sinh' යන කොටස ඉවත් කළේ නැත්නම් ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න" යැයි පවසා ඇත.

පසු දින පුද්ගලයන් කණ්ඩායමක් මොලික්ගේ නිවසට පැමිණ පහර දීමත් සමග තර්ජන වෙනුවට ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය. එම පහරදීමෙන් පසු දලිත් වැසියන් පිරිසක් ඉහළ පෙළේ හින්දු පුද්ගලයෙකුගේ නිවසකට කඩා වැදී අලාභ හානි සිදු කර තිබිණ.