G7 සමුළුව: ඇමෙරිකාවේ මිත්‍ර පාක්ෂිකයන්ට ට්‍රම්ප්ගෙන් ඇනුම් පද

ඡායාරූප මූලාශ්‍රය, AFP
ආවේගාත්මක ට්විටර් පණිවුඩ ගණනාවක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමීපතම රටවල රාජ්‍ය නායකයන් විවේචනය කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ආවේගාත්මක ට්විටර් පණිවුඩ නිකුත් කරමින් ඇමෙරිකානු හිතවාදීන් විවේචනය කළේ එකඟත්වයකින් තොරව අවසන් වූ කැනඩාවේ පැවති ජී7 (G7) සමුළුවෙන් අනතුරුවය.
"අප වෙළඳාමෙන් ඉවත් කිරීමට තැත් කරන" රටවල් ආරක්ෂා කිරීම පිණිස "නේටෝ සංවිධානයේ මුළු පිරිවැයම පාහේ දරන" බව එක් ට්විටර් පණිවුඩයක ඔහු සඳහන් කොට තිබුණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයට තර්ජනයක් විය හැකි නව තීරුබදු පිළිබඳව සඳහන් කරමින් "සාධාරණ වෙළෙඳාම දැන් හැඳින්විය යුත්තේ මෝඩ වෙළෙඳාම" යනුවෙන් බවත් ඔහු සඳහන් කොට තිබේ.
එක්සත් ජනපදයේ ලෝහ සහ ඇලුමීනියම් ආනයන සඳහා ලබන මාසයේ සිට බදු අයකරන බව කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ට්රූඩෝ සනාථ කළේය.
කැනඩා අගමැතිවරයා පෞද්ගලිකව විවේචනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, අගමැති ට්රූඩෝ "ඉතා දුර්වල සහ වංක" පුද්ගලයෙකු ලෙස හඳුන්වා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ කුමක්ද?
ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර ඓතිහාසික රාජ්‍ය නායක සාකච්ඡාව සඳහා සිංගප්පූරුවට ගොස් සිටින ජනාධිපති ට්‍රම්ප් සඳුදා එහි සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) වියදම් සඳහා ඇමෙරිකාව උවමනාවටත් වඩා මුදල් වැයකරමින් සිටින බවය.
"ඔවුන් අංශු මාත්‍රයක් ගෙවලා හිනා වෙනවා," ඔහු සඳහන් කළේය.
එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ජර්මනිය, කැනඩාව සහ තුර්කිය ඇතුළුව රටවල් විසි අටකින් සමන්විත අන්තර්ජාතික මිතුරු හමුදාවට යුරෝපා සංගමය "මීට වඩා" ගෙවිය යුතු බව ඔහු සඳහන් කරයි.
"මූල්‍ය පාඩුවලින් යුරෝපය ආරක්ෂා කරන" නමුත් එක්සත් ජනපදයට "සාධාරණ නොවන දැඩි විවේචන" එල්ලවන බව ද ඩොනල්ඩ් තරම් පවසා තිබුණි.
"වෙනසක් ලඟදීම වෙනවා" ඔහු අනතුරු ඇඟවීය.
මේ තත්ත්වය උදාවුනේ කෙසේද?
ජනාධිපති ට්‍රම්ප් මෙසේ අඛණ්ඩ දොස් මුරයක් එල්ල කළේ ඔහු සහ ජී7 නායකයන් අතර හටගත් උණුසුම් වාග් ප්‍රහාරයකින් අනතුරුවය. සෙනසුරාදා (09) කෙබේක් (Quebek) හිදී අවසන්වූ උද්වේගකර සමුළුවේ සාමූහික ප්‍රකාශනය ඔහු ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම තත්ත්වය උදාවිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මෙය සිදුවූයේ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ "අසත්‍ය ප්‍රකාශ සහ ඇමෙරිකානු ගොවීන්, සේවකයන් සහ සමාගම් සඳහා සිදුකරමින් ඇති දැවැන්ත බදු පැනවීමත් සමග" බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
තමන්ට "ඇමෙරිකානු සේවකයන්ට දඬුවම් කිරීමට" අනවශ්‍ය නමුත් කැනේඩියානුවන් ආරක්ෂා කරගැනීම පිණිස ඇතැම් ඇමෙරිකානු ආනයනවලට බදු පැනවීමට සිදුවූ බව අග්‍රාමාත්‍ය ජස්ටින් ට්රූඩෝ සමුළුවෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"කැනේඩියානුවන් සංවර සහ සාධාරණ පිරිසක් වුනත් අපි ව එහාට මෙහාට තල්ලු කරන්න දෙන්න බැහැ" ඔහු පැවසීය.
ඇමෙරිකානු ජනපතිවරයා ජී7 සමුළුවේ මූලික පොදු එකඟතාවය ප්‍රතික්ෂේප කිරීම "සිහි බුද්ධිය ඇති" පිරිස "අධෛර්යවත් කරවන්නක්" බව ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් පසුව පැවසීය.
ජී7 අනෙකුත් සාමාජිකත්වයද ට්‍රම්ප්ගේ මෙම හැසිරීමෙන් මන්දෝත්සාහීවී ඇති අතර අවසන් එකඟතාවට සහයෝගය පළකරන ලෙස ඔවුහු ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
සබැඳි පුවත්:









