ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක පරිසර දිනය: ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පනහකින් 'ප්ලාස්ටික් දූෂණයට වැට'
ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමට රටවල් පනහක් මේ වන විට විවිධ පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති විශාලතම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ස්ටයිරෝෆෝම් (Styrofoam) භාවිතය තහනම් කිරීමටත්, ගලපාගෝස්හි තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් තහනම් කිරීමටත්, චීනය දිරාපත් වන ප්ලාස්ටික් බෑග් භාවිතයට යොමු වීමටත් කටයුතු කරමින් සිටින බව එම වාර්තාවේ ඇතුළත්ව ඇත.
නමුත් ගංගා සහ සාගරයට මහා පරිමාණයෙන් ප්ලාස්ටික් එකතුවීම අවම කිරීමට තවත් බොහෝ පියවර අනුගමනය කළ යුතු බව එම වාර්තාවේ කතුවරු අනතුරු අඟවති.
ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ රටවල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ඉතා හොඳ ප්‍රතිපත්ති හඳුන්වා දී ඇතත්, ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බවය.
ප්ලාස්ටික් මළු කානු පද්ධතිවල සිර වී ජලය බැස නොයාමෙන් ගංවතුර තත්වයන් ඇති වීම සහ ගවයන් පොලිතින් ආහාරයට ගැනීම දියුණු වෙමින් පවතින රටවල් බොහෝමයක දැකිය හැකිය.
ලොව පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැළැක්වීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මිශ්‍ර ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තාවේ සඳහන් වේ.
කැමරූන්හි ප්ලාස්ටික් මළු තහනම් කර ඇති අතර, නිවෙස් තුළ එකතු කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත් තවමත් ප්ලාස්ටික් මළු රට තුළට අනවසරයෙන් රැගෙන එමින් පවතී.
ප්ලාස්ටික් සම්බන්ධයෙන් බොහෝ රටවල නීති සම්පාදනය කර ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ඇත.
මේ තොරතුරුද දැනගන්න:
ප්ලාස්ටික් වෙනුවට විභව ජෛව ආදේශක 35ක් පිළිබඳ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. එයට කෙසෙල් මුවවලින් මෙන්ම බඩ ඉරිඟු වලින් සාදන රෙදි වර්ගයක්ද අයත්ය.
හාවන්ගේ ලොම්, මුහුදු තෘණ සහ දිලීර ද ආදේශක ලෙස හඳුන්වමින් එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
ප්ලාස්ටික්වලට විකල්පයක් ලෙස අන්නාසි කොළ වලින් සාදන ලද Piñatex නැමැති ද්‍රව්‍යයක් පිළිබද වාර්තාවේ සඳහන් වී ඇත.
කෙසේවෙතත්, ජීව විකල්ප හඳුන්වාදීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයින් ඉතා සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන බව පෙනී යයි.
තවත් තොරතුරු:
"වාර්තාවේ සඳහන් තක්සේරුවට අනුව මෙය ගැටලු රහිත, ලාභදායී ක්‍රියාපටිපාටියක්. මෙයින් මිනිසුන්ට මෙන්ම මුළු ලෝකයටම විශාල වාසි රැසක් අත් වෙනවා. අපේ ප්‍රශ්නය ප්ලාස්ටික් නොවේ, අපි ප්ලාස්ටික් භාවිත කරන ආකාරයයි," එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රධානියා වන එරික් සෝල්හයිම් පැවසීය.
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සදහා ව්‍යාපාරවලින් පුළුල් සහයෝගයක් අවශ්‍ය බව වාර්තාවේ ලේඛකයෝ සඳහන් කරති.
ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් විවිධ රටවල ජාතික සැලසුම් හඳුන්වා දී තිබේ:
•බොට්ස්වානා - ප්ලාස්ටික් මළු සඳහා වෙළෙන්දන් මුදල් අය කළත් එය පාලනය කිරීමට "අපොහොසත්" වී තිබේ.
•එරිත්‍රියා - ප්ලාස්ටික් මළු සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර කාණු පද්ධති සිර වීම සීඝ්‍රයෙන් පහත ගොස් ඇත.
•ගැම්බියාව - ප්ලාස්ටික් මළු තහනම් කර ඇතත්, "දේශපාලන බලපෑම් නිසා නැවතත් මතුවෙමින් තිබේ."
•මොරොක්කෝව - ප්ලාස්ටික් තහනම් කර ඇත. වසරකට ප්ලාස්ටික් ටොන් 421ක් ඉවත් කර ඒ වෙනුවට රෙදි වර්ගයක් හඳුන්වාදෙමින් සිටී.
•බංගලාදේශය - ප්ලාස්ටික් මළු භාවිතය තහනම් වුවත් එය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැත.
•චීනය - 2008 වර්ෂයට පෙර ප්ලාස්ටික් මළු බිලියන තුනක් වාර්ෂිකව භාවිත කර ඇත. නමුත් වර්තමානයේ දී තුනී ප්ලාස්ටික් මළු තහනම් කිරීම හේතුවෙන් සුපිරි වෙළෙඳසල්වල 60%-80% කින් ප්ලාස්ටික් භාවිතය පහත වැටී තිබේ. නමුත් එළිමහන් වෙළෙඳපොළවල තවමත් ප්ලාස්ටික් මළු භාවිතය දැකිය හැකිය.
•වියට්නාමය - ප්ලාස්ටික් මළු සදහා බද්දක් අය කළත්, තවමත් විශාල වශයෙන් භාවිත කෙරේ. පවතින බද්ද පස් ගුණයකින් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
•අයර්ලන්තය - බද්දක් පැනවීම නිසා ප්ලාස්ටික් මළු භාවිතය 90%කින් පහත වැටී ඇත.
•කෙන්යාව - සෑම ගවයෙක්ම සිය ජීවිත කාලය තුළ ප්ලාස්ටික් මළු 2.5ක් ආහාරයට ගෙන තිබේ. වර්තමානයේ දී ප්ලාස්ටික් මළු නිෂ්පාදනය, භාවිතය සහ ආනයනය තහනම් කර ඇති අතර, එය කඩකරන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදලක් මෙන්ම වසර හතරක සිර දඬුවමක් ද පැනවිය හැකිය.