සාමකාමී ලෝකයකට "මිතුරු පාලමක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජීවිතය ගලා යන විට මුහුණ දීමට සිදු වන බාධක, දුක් කම්කටොළු වගේම සතුට බෙදාගැනීමට ද මිතුරන් විශාල සංඛ්‍යාවක් සිටීම ඉතා වැදගත්ය. නමුත් "අපට සමාන ගති පැවතුම් තිබෙන පිරිසක්" පමණක් ආශ්‍රය කිරීමෙන් ජීවිතයේ යම් හිඩැසක් ඇති නොවන්නේද?
යම් පුද්ගලයකුට දිනපතා මුණගැසෙන පිරිස සහ ඔහුගේ සමාජ ජාලය ජීවිතයේ කොටසක් ලෙස හැඳින්විය හැකිය.
මිතුරන් ආශ්‍රය කිරීමෙන් මානසික ආතතිය අවම කරන බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. එමෙන්ම මේ ලෝකය තුළ අපට හිමි ස්ථානය හඳුනාගැනීමට ඔවුන් උපකාර කරනු ඇත.
නමුත් මිනිසුන් සිය මිතුරන් ලෙස බොහෝ විට තෝරා ගන්නේ එක සමාන ගති පැවතුම්, අදහස් ඇති පුද්ගලයන් බව සාක්ෂි නිරීක්ෂණය කිරීමෙන් හෙළි වෙයි.
පුද්ගලයකු තම සමාජ සම්බන්ධතා පුළුල් කිරීම තුළින් බොහෝ වාසි අත් කර ගත හැකිය. උදාහරණයක් ලෙස වෙනස් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීම තුළින් නිර්මාණශීලී හැකියාව වර්ධනය වෙනවා සේම එම පුද්ගලයාට සහ සමාජයට අත් වන වාසි බොහෝය.
පුද්ගලයකුගේ අදහස්වලට සමාජ ජාලයෙන් එල්ල වන බලපෑම පිළිබද පරීක්ෂක කණ්ඩායම් තවමත් අධ්‍යයනය කරති.
අප තුළ ඇති ආකල්ප අනුව ලෝකය දකින ආකාරය වෙනස් විය හැකි අතර එයට ප්‍රතිරෝධී අදහස් ඉවත ලෑමට බොහෝ අය පෙළඹෙති.
ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ මත සනාථ කරගැනීම සඳහා අන් අයගේ අදහස් සහ තමන්ට නොගැළපෙන තොරතුරු මඟහැරීමට කටයුතු කිරීමට ඉඩ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බොහෝ මිනිසුන් සමාන සමාජ මනෝභාවයන්ගෙන් සමන්විත මිතුරන් ඇසුරු කිරීමට කැමැත්තක් දක්වන අතර, ඉතා කුඩා පිරිසක් පුළුල් පරාසයකින් යුත් අදහස් සහිත පුද්ගලයන් සමග මිශ්‍ර වීමට කැමැත්ත දක්වති.
විවිධ අදහස් සහ ගති ලක්ෂණ සහිත පුද්ගල කණ්ඩායමක සිටින සාමාජිකයන් තුළ අන් අයගේ අදහස්වලට ගරු කිරීමේ ප්‍රවනතා දැකිය හැකිය. එමගින් ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ද ඇති විය හැකිය.
"එක වර්ගයේ කුරුල්ලන් එක රංචුවට පියඹනවා" වැනි හැසිරීමක් සමාජ විද්‍යාඥයින් හඳුන්වන්නේ 'සමානුකූලතාව'(homophily) ලෙසය. එවැනි කණ්ඩායමකට අයත් පුද්ගලයන් ඒකාකාරී බවින් යුක්තය.
මෙය බොහෝ ආකාරයට සිදුවිය හැකිය. නිදසුනක් වශයෙන්, පාසලේ දී එකම ජාතියකට අයත් දරුවන් එක කණ්ඩායමක සිටිනු දැකිය හැකිය. එපමණක් නොව, එක සමාන කොණ්ඩා මෝස්තර තිබෙන අය මෙන්ම ඇස් කණ්නාඩි පළඳින අය එකට කාණ්ඩ ගැසී සිටිනු දක්නට ලැබෙයි.
මේ තොරතුරුත් කියවන්න:
වැඩිකලක් ගත වීමට පෙර පුද්ගලයන්ගේ වයස, සමාජ පන්තිය, දේශපාලන දර්ශනය, ආගම සහ ජාතිය අනුව සමාජය කුඩා කොටස්වලට බෙදී යනු ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් තුළ වෙනස් ආකාරයේ අධිමානසික තත්වයන් වර්ධනය වීමට ඉඩ ඇත.
නිදසුනක් වශයෙන්, එක් කණ්ඩායමක්,අන් පුද්ගල කණ්ඩායම්වලට වඩා සිය කණ්ඩායම වඩාත් "හොඳ" ලෙස දැකීමට පුරුදු විය හැකි අතර, සිය කණ්ඩායම අන් අයට වඩා දැනුමෙන් සහ විනෝදයෙන් ඉහළ මට්ටමක සිටින බව සිතීමට පෙළඹෙනු ඇත.
මෙම තත්වය තවත් නරක අතට හැරෙමින් විවිධ කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් එක් ප්‍රදේශයකට සංක්‍රමණය වී අසල්වැසියන් ලෙස ජීවත් වීම ආරම්භ කරන අතර, ඔවුන්ගේ මතයට සරිලන පාසල්වලට යාමට පටන් ගනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කලාතුරකින් මුණ ගැසෙන පුද්ගලයන්ගේ මතය විමසනවාට වඩා අප හා සමාන අදහස් දරන පුද්ගලයන් ඇසුරු කිරීමට අපි කැමැත්තක් දක්වන්නෙමු. එසේ ක්‍රියා කිරීමෙන් අන් අයගේ පුරුදු, සිතුවිලි සහ හැඟීම් නොසලකා හැර ලෝකය පිළිබද අප තුළ ඇති මතය ගොඩ නගා ගැනීමට අපි උත්සාහ දරන්නෙමු.
කෙසේ වෙතත්, විවිධ කාණ්ඩවලට අයත් මිතුරන් ඇති කර ගැනීම ඉතා යහපත් බව පර්යේෂණවලින් පෙනී යයි.
තවත් තොරතුරු:
එක සමාන පුද්ගලයන් තුළ එක සමාන ඍණාත්මක අදහස් ද තිබිය හැකිය. විවිධ චරිත ලක්ෂණ සහිත පුද්ගලයන් ඇසුරු කිරීම තුළින් අප තුළ ධනාත්මක සිතුවිලි ජනනය විය හැකි අතර මානසික ආතතිය අවම වීමට එය හේතුවක් විය හැකිය.
විවිධ පුද්ගලයන්ට සවන් දීමෙන් සමාජය දෙස පොදුවේ සානුකම්පිතව බැලීමට අප පුරුදු වෙනු ඇත.
උදාහරණයක් වශයෙන් සමරිසියන් ඇසුරු කිරීමෙන් ඔවුන් පිළිබඳව අප තුළ මුල්බැස ගත් ආකල්ප වෙනස් වනු ඇත.
එම ආකල්පමය වෙනස, උදාහරණයක් ලෙස අපට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් මුදල් ඇති පුද්ගලයන් ඇසුරු කරන විට යහපත් ආකාරයට බලපානු දැකීම පුදුමය දනවන සුළු වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහි ප්‍රතිඵලයක් වශයෙන් අප තුළ මුල්බැස ගත් මානය, දුර්මත සහ කාණ්ඩ ගැසීම් අවම වනු ඇත.
නොයෙක් කණ්ඩායම් සමග සබඳතා ගොඩනගා ගැනීමෙන් අප තුළ ඇති ආකල්ප වෙනස් වන බව ලොව පුරා සිදු කළ බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත.
මුල් කාලයේ දී මෙම අධ්‍යනයන්ගෙන් වැඩි කොටසක් සිදු කර ඇත්තේ එක්සත් ජනපදය තුළය. එහි සුදු ඇමෙරිකානු පාසල් සිසුන් සහ අප්‍රිකානු සම්භවයක් ඇති සිසුන් එකම පාසලක අධ්‍යාපනය හැදෑරීමට සැලැස්වීමෙන් පෙර තිබූ බෙදීම් අවම කර ගත හැකි වූ බව පෙනී ගොස් ඇත.
ඊට සමාන සාර්ථක පරීක්ෂණ මහා බ්‍රිතාන්‍යයේ ද සිදු කරනු ලැබ ඇත.
එහෙත් බොහෝ සමාජයන්හි විවිධ ජන කොටස් තවමත් කණ්ඩායම් වශයෙන් බෙදී ජීවත් වනු දක්නට ලැබෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ අතරවාරයේ ඔවුන් සමග අනියම් ආකාරයෙන් සබඳතා ඇති කර ගැනීමෙන් වුවද අප තුළ ඇති ආකල්ප වෙනස් කර ගත හැකිය.
නිදසුනක් ලෙස, අන්‍යෝන්‍ය මිතුරන් හරහා අනෙකුත් කණ්ඩායම් සමග සම්බන්ධ වීම ඔවුන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වීම තරමටම ඵලදායී වනු ඇත.
විවිධ ජන සමූහ සහ පුද්ගලයන් පිළිබඳව නිර්මාණය කර ඇති සිනමාපට හෝ රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් ඔවුන් ගැන ඇති ආකල්ප වෙනස් කර ගැනීමට බොහෝ අයට හැකි වී ඇත.
උතුරු ඇමෙරිකාව, යුරෝපය, ආසියාව, අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව පදනම් කර ගනිමින් හැට වසරකට ආසන්න කාලයක් එවැනි පර්යේෂණ සිදු කර ඇත.
විවිධ වර්ගයේ මිනිසුන් ඇසුරු කිරීමෙන් සහ ඔවුන් සමග එකට ජීවත් වීමෙන් වඩාත් සාමකාමී, ධනාත්මක අදහස් ඇති ලෝකයක ජීවත් විය හැකි බව එම පර්යේෂණවලින් හෙළි වී ඇත.
(බීබීසී #CrossingDivides වැඩසටහන් මාලාව ඇසුරෙනි)








