තජිකිස්ථානය: කාන්තාවන්ගේ ඇඳුම තීරණය කරන 'පොත'

Women

ඡායාරූප මූලාශ්‍රය, TAJIK CULTURE MINISTRY/ASIA-PLUS

ඡායාරූප ශීර්ෂ වැකිය, සම්ප්‍රදායික තජික් කාන්තා ඇඳුම නිර්දේශ කරන අතර, බටහිර සම්ප්‍රදායට ඔබින ඇඳුම් සහ මුස්ලිම් ඇඳුම් නොසුදුසු බව සඳහන් කර ඇත.

කාන්තාවක් ඇඟලිය යුතු සහ එසේ ඇඟලිය නොයුතු ඇඳුම් ඇතුළත් පොතක් එළිදැක්වීමට තජිකිස්ථාන ආණ්ඩුව පියවර ගෙන ඇත.

අදාළ "නිර්දේශ ඇතුළත් පොත" එළිදක්වා ඇත්තේ එරට සංස්කෘතික අමාත්‍යංශයෙනි. "අවුරුදු හතේ සිට හැත්තෑව දක්වා කාන්තාවන්ට" සුදුසු යැයි හැඟෙන ඇඳුම්වලින් සැරසුන නිරූපිකාවන්ගේ ඡායාරූප මෙයට ඇතුළත් කර ඇති බව ඒෂියා-ප්ලස් වෙබ් අඩවිය වාර්තා කරයි.

කාන්තාවක් රැකියාවට ඇඳිය යුතු ඇඳුම්, ජාතික සහ රාජ්‍ය නිවාඩු දිනවලට සුදුසු ඇඳුම් සහ මංගල උත්සවයකට මෙන්ම සති අන්තයට සුදුසු ඇඳුම් පවා මෙම පොතෙහි විවිධ පරිච්ඡේදවලින් නිර්දේශ කර ඇත.

එම පොතෙහි අවසාන පරිච්ඡේදයක තජික් කාන්තාවන්ට ඇඳීමට නොසුදුසු ඇඳුම් පිළිබඳ සඳහන් කර ඇත. සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම්වලට එරෙහිව තජිකිස්ථානයේ ගෙනයන ව්‍යාපාරය සැලකිල්ලට ගෙන කළු පැහැති ඇඳුම්, හිස් ආවරණ සහ හිජාබය නොසුදුසු ඇඳුම් ලෙස වර්ග කර ඇත. ජනාධිපති එමොමාලි රාමොන්ගේ හෙළාදැකීම හමුවේ වුව ද සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් තවමත් රට තුළ ජනප්‍රියය.

බටහිර සම්ප්‍රදායට ඔබින ඇඳුම්, කෙටි සාය, පපුව නිරාවරණය වන ඇඳුම් සහ පිට පෙනෙන ගවුම් ඇඳීම මෙම පොතට අනුව නුසුදුසුය.

"සෙරෙප්පු පැළඳගෙන හෝ ඇඟට තද වන කලිසම් හෝ සෞඛ්‍යයට අහිතකර යැයි පිළිගැනෙන කෘත්‍රිම රෙදිපිළි ඇඳගෙන පොදු ස්ථානවලට යෑම නිර්දේශ කරන්නේ නැහැ," ලෙස වෙබ් අඩවියේ පළ කර තිබුණි.

පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටක් වන තජිකිස්ථානයේ ජනගහනයෙන් වැඩි කොටසක් මුස්ලිම් ජාතිකයන්ය. එහෙත්, වඩාත් අනාගමික වූ එහෙත් සම්ප්‍රදායික සංස්කෘතියක් බිහි කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී.

මේ තොරතුරුද දැනගන්න:

කාන්තා

ඡායාරූප මූලාශ්‍රය, TAJIK CULTURE MINISTRY/ASIA-PLUS

ඡායාරූප ශීර්ෂ වැකිය, රැකියාවක නිරත කාන්තාවන් ඇඟලිය යුතු ඇඳුම්

'මිල දී ගැනීමේ හැකියාවක් ඇත්නම්, ඒ ඇඳුම් ඉතා ලස්සනයි'

අදාළ පොත පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ අදහස් පළ වී තිබුණි. පොතෙහි දක්වා ඇති ඇඳුම් "ලස්සනයි" ලෙස මතයක් පළ වී තිබුනත්, එම ඇඳුම් මිලෙන් අධික බව බොහෝ දෙනා සඳහන් කර ඇත.

"මේ ඇඳුම් අපට මිලට ගෙන දෙන්න වෙන්නේ සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරීන්ට," යැයි මත පළ වී තිබුණි.

"මේ වගේ පල් හෑලි සොයනවාට වැඩිය, සංස්කෘතික අමාත්‍යංශය පවතින වෙනත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි" ලෙස සටහන් කළ එක් සමාජ ජාල පරිශීලකයෙකු, තජිකිස්ථානය තවත් උතුරු කොරියාවක් කිරීමට උත්සහ දරන බවට අමාත්‍යංශ නිලධාරීන්ට චෝදනා කර තිබිණි.

"තද වුණ කලිසම් ඇඳීමෙන් ශරීරයේ කොටස් අනවශ්‍ය ආකාරයට උලුප්පා දැක්වෙනවා" යන්නට පිළිතුරු දෙමින් එක් පුද්ගලයෙකු අසා සිටියේ "ශරීරයේ මොන කොටස ද? ඔවුන්ගේ මොළයේ තිබෙන ගෙඩියත් මෙයට අයත් ද?" යනුවෙනි.

කාන්තා

ඡායාරූප මූලාශ්‍රය, TAJIK CULTURE MINISTRY/ASIA-PLUS

ඡායාරූප ශීර්ෂ වැකිය, පොතට අනුව, සමහර බටහිර මෝස්‌තර නිවාඩු දිනවලදී ඇඳීම සුදුසුය