ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාලිබාන් ව්‍යාපාරය සටන් කරන්නේ රුසියාව දෙන අවි වලින්ද?
රුසියාව ඇෆ්ඝන් තාලිබාන් ව්‍යාපාරයට උදව් කරන බව ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින ඇමෙරිකානු හමුදාවේ ප්‍රධානියා බීබීසියට ප්‍රකාශ කළේය.
ජනරාල් ජෝන් නිකොල්සන් (Gen John Nicholson) පවසන ආකාරයට රුසියාව අවි ආයුධ මගින් පවා තාලිබාන් කැරලිකරුවන්ට ආධාර කරයි.
බීබීසිය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වූ ජනරාල් ජෝන් නිකොල්සන් (Gen John Nicholson) "රුසියන්වරුන් විසින් ඇෆ්ඝන් රජය පෙරළා දැමීමට පවා කටයුතු කරන ආකාරය තමා දැක ඇතැයි" සඳහන් කළේය.
තජිකිස්තාන් දේශසීමාව ඔස්සේ තාලිබාන් ව්‍යාපාරය සඳහා රහසිගතව අවි සැපයෙන බව සඳහන් කළ ජනරාල් නිකොල්සන්, එහෙත් එය කොපමණ ප්‍රමාණයකින් සිදුව ඇද්ද යන්න තමාට කිව නොහැකි බවත් සඳහන් කළේය.
එහෙත් එවැනි ප්‍රකාශන තහවුරු කිරීම සඳහා සාක්ෂි නැතැයි පවසන රුසියාව එක්සත් ජනපද චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
එහෙත් ජනරාල් ජෝන් නිකොල්සන් (Gen John Nicholson) මෙවර ඉහත කී චෝදනා ඉදිරිපත් කරන්නේ රුසියාව සහ 'නේටෝ' බලවතුන් අතර සබඳතා ගැටුම්කාරී අතට හැරෙමින් පවතින පරිසරයක් තුළය.
රුසියාවේ කේජීබී රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ඔත්තුකරුවකු වූ සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය 'යූල්යා' ඉලක්ක කර ගනිමින් එක්සත් රාජධානියේ 'සැලිස්බරි' නගරයේ දී එල්ල කෙරුණ මාරක "නර්ව් ඒජන්ට්" (nerve agent) විෂ රසායන ප්‍රහාරය පිටුපස සිටි බවට බ්‍රිතාන්‍යය රුසියාවට චෝදනා කරන අතර එය මුල්කර ගනිමින් දෙරට ආරවුලක සිර වී සිටිති.
එවැනි ආරාවුලක් පවතින අතරවාරයේ වාර්තාවක් නිකුත් කරන එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ බුද්ධි කමිටුවක්, 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී රුසියානු ප්‍රකෝපකාරීන් ඊට මැදිහත්ව ඇති බව සිය නිගමනය බව කියා සිටියි.
"ඇෆ්ඝන් භූමියේ සටන් වැදී සිටින 'ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (Isis) ප්‍රහාරකයන්ගේ සංඛ්‍යාව විශාල කරලා අතිශයෝක්තියෙන් සඳහන් කෙරෙන වාර්තාවක් අපි දැකල තියෙනවා" ජනරාල් නිකොල්සන් බීබීසියට ප්‍රකාශ කළේය.
"තාලිබාන් ක්‍රියාකාරකම් නීත්‍යනුකූල කිරීමට සහ එක්තරා මට්ටමකින් ඔවුන්ට උදව් කිරීමට අවශ්‍ය යුක්තිය සොයා ගැනීමට රුසියාව ඒ වාර්තාව උපයෝගී කර ගත්තා"
ජනරාල් නිකොල්සන් සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ඇෆ්ඝන් අර්බුදය වෙනුවෙන් කැප කළ යුද නිලධාරියෙකි.
සැප්තැමබර් 11 වොෂිංටන්- නිව්යෝර්ක් දෙනුවර ප්‍රහාරයේ දී පෙන්ටගනයට එල්ල කෙරුණ ගුවන් ප්‍රහාරයේ දී ඔහුගේ ජීවිතය යාන්තමින් බේරුණ බව පැවසෙයි.
ඉන් අනතුරුව ඇමෙරිකාව විසින් ඇෆ්ඝනිස්ථානයට පහර දීමේ පටන් කාලයේ ඔහුගේ නිල ජීවිතය එහි අනුගත විය.
ජනරාල් නිකොල්සන් විශ්වාස කරණ ආකාරයට තාලිබාන් ව්‍යාපාරය කෙරෙහි රුසියාවේ මැදිහත්වීම මෑතදී ගන්නා ලද පියවරකි.
රුසියාව තජිකිස්තානයත් සමඟ ඇෆ්ඝන් දේශසීමාවේ යුද අභ්‍යාස මාලාවක් ක්‍රියාවට නැංවූ බව ජනරාල්වරයා පවසයි.
"ඒවා ත්‍රස්ත විරෝධී යුද අභ්‍යාස වුනා" ජනරාල් නිකොල්සන් පවසයි.
"නමුත් රුසියාව වැඩ කරන ආකාරය අපි දැකල තියෙනවා. ඔවුන් අවි ආයුධ විශාල ප්‍රමාණයක් ගෙනාවා. ඔවුන් ආපසු යද්දී එයින් කොටසක් අරගෙන ගියේ නැහැ"
එම ප්‍රකාශය මගින් ඇඟවෙන්නේ රුසියාව දමා ගිය අවි ආයුධ සහ වෙනත් උපකරණ දේශ සීමාව හරහා තාලිබාන් ව්‍යාපාරයට සැපයුණ බවය.
රුසියාව විසින් තාලිබාන් ව්‍යාපාරයට කොපමණ ආධාර දී ඇද්දැයි සංඛ්‍යාත්මකව කිව නොහැකි බව ජනරාල් නිකොල්සන් පිළිගනියි.
එහෙත් එම ආධාර වලට රාත්‍රි අඳුර විනිවිද දැකිය හැකි දුරදක්න,මධ්‍යම සහ විශාල පරිමාණයේ ස්වයංක්‍රීය තුවක්කු මෙන්ම සැහැල්ලු අවි ඇතුළත් බව ඇෆ්ඝන් පොලිස් නිලධාරීන් මෙන්ම යුද හමුදා ඇස්තමේන්තු මගින් පැවසෙයි.
එම අවි ආයුධ ඇෆ්ඝන් හමුදාවන්ට සහ ඔවුන්ගේ ඇතැම් මෙහෙයුම්වලට ආධාර කරන 'නේටෝ' උපදේශකයන්ට පහර දීම සඳහා පාවිච්චි කරන හැඩක් දක්නට ඇතැයි ඇෆ්ඝන් ආරංචි මාර්ග මගින් පැවසෙයි.
කෙසේවතත්, රුසියාව සහ තාලිබාන් ව්‍යාපාරය අතර තවමත් විවෘත සන්ධානයක් ගොඩ නැගී නැත.
1979 දී ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කළ සෝවියට් හමුදා එවකට ඇමෙරිකාවේ සහයෝගය ලද 'මුජහදීන්' ගරිල්ලන් සමඟ දරුණු යුද්ධයක නිරත විය.
එම 'මුජහදීන්' ගරිල්ලන්ගෙන් වැඩිදෙනා සිවිල් යුද සමයේ සංවිධානය කෙරුණ තාලිබාන් ව්‍යාපාරය සමඟ පසුව එක් වූ අතර 1989 දී සෝවියට් සංගමයට සිය හමුදා ඇෆ්ඝන් භූමියෙන් ඉවත්කර ගැනීමට සිදුවිය.
"තාලිබාන් ව්‍යාපාරයට රුසියාවත් සමඟ ඇති එදිරිවාදීභාවය දිගුකල් පවතින්නකැයි" ඇෆ්ගනිස්තානය පිළිබඳ විශ්ලේෂක ජාලයේ කේට් ක්ලාක් (Kate Clark) පවසන්නීය.
"තාලිබාන් ව්‍යාපාරය රුසියාවත් සමඟ ඇති ගනුදෙනුව සඳහා නිතරම උතුරු සන්ධානයට පහර දුන්නා" ඇය පෙන්වා දෙන්නීය.
"දැන් රුසියාව සහ තාලිබාන් ව්‍යාපාරය කිට්ටු මිතුරන් හැටියට එකට හිට ගැනීමේ උවමනාව එම තත්වය වෙන්න පුළුවන්" කේට් ක්ලාක්(Kate Clark) අනුමාන කරයි.
තලිබාන් ව්‍යාපාරයත් සමඟ පවතින සබඳතා කපා හරින ලෙස ජනාධිපති ට්‍රම්ප් මේ අතර පාකිස්ථානයට බල කරයි.
"පාකිස්ථානය අපට බොරුකීම සහ මුලා කිරීම හැර වෙනත් කිසිවක් දීලා නැහැ. ඇෆ්ඝනිස්ථානයට හානි කිරීම සඳහා පාකිස්ථානය ත්‍රස්තවාදීන්ට ක්‍ෂේමභූමියක් හදා දීල තියෙනවා" ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනවාරි මාසයේ එවැනි ප්‍රකාශයක් ඇතුළත් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් පාකිස්ථානයට සැපයෙන ඩොලර් කෝටි ගණනක ආරක්ෂක ආධාර අත්හිටවීමට පියවර ගත්තේය.
ඉස්ලාමාබාද් පාලනයෙන් ඈත්ව කටයුතු කිරීමට උනන්දු වෙන තාලිබාන් ව්‍යාපාරයත් තමන් ස්වාධීන බලවේගයක් හැටියට පෙනී සිටීමට තැත් කරන සංවිධානයකි.
තමන් තාලිබාන් ව්‍යාපාරයට අවි ආයුධ නොසපයන බව මේ අතර රුසියාව කියා සිටියි.
එහෙත් තමන් තාලිබාන් කැරලිකරුවන් සමඟ සාකච්ඡා කළ බව මොස්කව් පාලනය පිළිගනියි.
රුසියාව එවැනි ක්‍රියාමාර්ග යුක්ති සහගත කරගනු ලබන්නේ, ඊශාන දිග ඇෆ්ඝනිස්ථානයේ මුල්බැස ගැනීමට තැත් කරමින් සිටින ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමඟ තමන්ට සහ තාලිබාන් ව්‍යාපාරයට ඇති පොදු විරෝධය ඉදිරිපත් කරමිනි.
කෙසේවුවද, තලිබාන් ආධාර දිනා ගැනීම මගින් ලැබිය හැකි පුළුල් භූ-දේශපාලන ප්‍රතිලාභ ඇති බව රුසියාව විශ්වාස කරනවා විය හැකිය.
"රුසියාව ඇෆ්ඝන් භූමියෙහි ඇමෙරිකාවට එරෙහිව 'දෙවැන්නකුට' මුවා වෙමින් කරන යුද්ධයක (a proxy war) නිරත වෙමින් සිටින්නේදැයි" බීබීසිය ජනරාල් නිකොල්සන්ගෙන් විමසීමක් කළත් එම ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ඔහුගෙන් නොලැබුණි.
සබැඳි පුවත්;