ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ: "දහයක් මරුට"

Iranian students clash with riot police during demonstrations against the regime, Tehran, 30 Dec 2017

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඉරානයේ රාත්‍රිය පුරා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ දස දෙනෙකු මරණයට පත්ව ඇතැයි එරට රජයේ රූපවාහිනිය පවසයි.

උද්ඝෝෂණ ආරම්භ වූ බ්‍රහස්පතින්දා (දෙසැ 28) සිට තවත් 12 දෙනෙකුවත් තුවාල ලබා තිබේ.

සඳුදා (ජනවාරි 01) ප්‍රකාශයක් කරමින් ඉරාන ජනාධිපති හසන් රවුහානි කියා සිටියේ උද්ඝෝෂණ සහ විවේචන යනු අවස්ථා උදා කිරීමක් විනා තර්ජනයක් නොවන බවය.

ආර්ථික ගැටලු සඳහා පිළියම් සොයනු වස් රට එක්ව කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

"ජනතා අභිලාෂයන්ට සහ නීතියට එරෙහිව සටන් පාඨ හඬ නගන, පවිත්‍රත්වයට සහ විප්ලවයේ වටිනාකම්වලට පරිභව කරන සුළුතරය ගැන රටජාතීන් බලා ගනීවි," යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

උද්ඝෝෂණ පැවැත්වීමට පුරවැසියන්ට නිදහස ඇතත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිය නොහැකි බව ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

ජනපති ට්‍රම්ප්ගෙන් වාග් ප්‍රහාරයක්

Nighttime photo shows fires in a Tehran street

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙහෙරානයේ පැවති උද්ඝෝෂණ
crowds carrying flags

ඡායාරූප මූලාශ්‍රය, IRINN

ඡායාරූප ශීර්ෂ වැකිය, ධජ අතැතිව සිටින පිරිස් දැක්වෙන දර්ශන රජයේ රූපවාහිනිය ඔස්සේ විකාශය විය

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන නායකයන් සමග තවදුරටත් වාග් සංග්‍රාමයක නිරතව සිටී.

සඳුදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණේ "ශ්‍රේෂ්ඨ ඉරාන ජනතාව වසර ගණනාවක සිට යටපත් කර තබා තිබෙනවා. ඔවුන් ආහාර සහ නිදහස වෙනුවෙන් බලා සිටිනවා" යනුවෙනි.

ඉරානයේ දෙවෙනි විශාලතම නගරය වන මශාද් නුවර බ්‍රහස්පතින්දා ආරම්භ වූ උද්ඝෝෂණ, 2009 වසරේ දී සාහසික ලෙස යටපත් කෙරුණු 'කොල ව්‍යාපාරයේ' (Green Movement) රැළිවලින් පසු හටගත් විශාලතම ආණ්ඩු විරෝධී ජන රැල්ලයි.

එවක ජනාධිපති ධුරයට පත් මහමුද් අහමදිනිජාද්ගේ මතභේදයට තුඩු දුන් මැතිවරණ ජයග්‍රහණයට එරෙහිව විපක්ෂ ආධාරකරුවන්ගේ සහාය ඇතිව විශාල වශයෙන් උද්ඝෝෂණ පැවති අතර එම උද්ඝෝෂණ හඳුන්වනු ලැබුවේ 'කොල ව්‍යාපාරය' නමිනි.

1979 ඉරාන විප්ලවයෙන් පසු වැඩිම ජනකායක් එක් වූ උද්ඝෝෂණ මාලාව අතරතුර අවම වශයෙන් තිස් දෙනෙකුවත් මරණයට පත් වූ අතර තවත් දහස් ගණනක් අත්අඩංගුවට ගනු ලැබිණ.

සමාන පුවත්: