ඉන්දීය ඩ්‍රෝන යාත්‍රාවක් චීන ගුවන් සීමා ආක්‍රමණය කරමින් කඩා වැටෙයි

ඉන්දියානු ඩ්‍රෝන යාත්‍රාවක් "චීන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී කඩා වැටී ඇති," බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

චීන බටහිර යුද කඳවුරෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ශැන්ග් ෂුයි (Zhang Shuili) එය "මෑත දිනවල" සිදුවූවක් ලෙස සඳහන් කළ නමුත් නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් පිළිබඳව ප්‍රකාශ කළේ නැත.

එමගින් ඉන්දියාව චීනයේ "භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කර තිබෙන" බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

අදාල ඩ්‍රෝන යන්ත්‍රය හමුදා පුහුණු කටයුතු සඳහා යොදා ගත් අවස්ථාවකදී කාර්මික දෝෂයක් හටගෙන තිබෙන බව ඉන්දීය හමුදාව පවසයි.

මෙම ඩ්‍රෝන යන්ත්‍රය ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී ගොස් චීන ගුවන් සීමාවට ඇතුළු වී ඇති බව ඉන්දීය හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, කර්නල් ආමන් ආනන්ද් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. ඒ පිළිබඳව වහාම චීන බලධාරීන් දැනුවත් කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

හිමාල දේශ සීමාව සම්බන්ධයෙන් හටගත් මතභේදයක් හේතුවෙන් පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදීත් දෙරට අතර සම්බන්ධතා පළුදු විය.

චීන රාජ්‍ය මාධ්‍ය විසින් උපුටා දක්වා තිබෙන ආකාරයට, චීන දේශසීමා ආරක්ෂක බලකාය ඩ්‍රෝන යන්ත්‍රය පිළිබඳව පුළුල් වශයෙන් විමසා බැලූ බව ශැන්ග් ෂුයි පවසා තිබේ.

"අප රටේ අයිතීන් සහ රට ආරක්ෂා කර ගැනීමට" උපරිම වශයෙන් කටයුතු කරන බව පවසන ඔහු, "මේ පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය සහ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටින," බව ද පවසයි.

1962 දී ඉන්දියාව සහ චීනය දේශ සීමාවන් සම්බන්ධයෙන් දරුණු යුද්ධයක පැටලුනු අතර, ප්‍රදේශ කිහිපයක අයිතිය සම්බන්ධයෙන් තවමත් පවතින නොවිසඳුණු මතභේද හේතුවෙන් දෙරට අතර නිරන්තරයෙන් උණුසුම් සහගත තත්වයන් මතු වෙමින් පවතී.