මැනුස් කඳවුර වැසීම : ආරක්ෂාව ගැන බියෙන් රැඳවියෝ පිටව යාම ප්‍රතික්ෂේප කරති

ප්‍රදේශයේ ජනතාවගෙන් තම ජීවිතයට තර්ජන එල්ල වනු ඇති බවට මැනුස් කඳවුරේ සරණාගතයෝ බිය පළකරති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදේශයේ ජනතාවගෙන් තම ජීවිතයට තර්ජන එල්ල වනු ඇති බවට මැනුස් කඳවුරේ සරණාගතයෝ බිය පළකරති

ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි හි රඳවා සිටින සරණාගතයින්, එහි පිහිටා ඇති රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වන බව වාර්තා වේ.

රැඳවුම් මධ්‍යස්ථානය අවට එක්ව සිටින ප්‍රදේශවාසීන් "එළියට එන්න එපා" යැයි හඬ නගන බවට වාර්තා වූ අතර සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බියට පත් රැඳවියෝ, මධ්‍යස්ථානය වසා දැමීමෙන් සිය මානව හිමිකම් කඩවන බවට තර්ක කරති.

බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයින් නවතාලන ඔස්ට්‍රේලියාව ඔවුන් රඳවනු ලබන්නේ පැපුවා නිව්ගිනි හි මැනුස් දුපතේ සහ නාවුරු දුපතෙහිය.

මැනුස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බව තීන්දුවීමත් සමග එය වසා දැමීමට නියමිතය.

රැඳවුම් කඳවුර වසා දැමීම හේතුවෙන් තමන්ට ජලය, විදුලි බලය සහ ආරක්ෂාව නොමැතිවීම තුළින් සිය මානව හිමිකම් උල්ලංඝනයවන බවට රැඳවියෝ තර්ක කරති. මෙය හැර යාම බොහෝ රැඳවියෝ ප්‍රතික්ෂේප කරති.

පැපුවා නිව්ගිනි වේලාවෙන් අඟහරුවාදා (ඔක් 31) සවස 5 ට (07:00 GMT) රැඳවුම් මධ්‍යස්ථානයට දී ඇති විදුලි, ජලය හා ආහාර සැපයුම් නතර කරන බවට ප්‍රාදේශීය බලධාරීන් අනතුරු අඟවා ඇති අතර හෙට අලුයම වන විට පැපුවා නිව්ගිනි ආරක්ෂක බලධාරීන්ට මධ්‍යස්ථානයට ඇතුළුවීමට ඉඩ සැලසෙනු ඇත.

පැපුවා නිව්ගිනි රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට සූදානම්

ඡායාරූප මූලාශ්‍රය, HUMAN RIGHTS WATCH

ඡායාරූප ශීර්ෂ වැකිය, පැපුවා නිව්ගිනි රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට සූදානම්

සාමකාමී උද්ඝෝෂණයක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි බීබීසී සමග පැවසු සරණාගතයින්, ජලය, බිස්කට් මෙන්ම වැසි ජලය රැස්කිරීමට පටන්ගෙන තිබේ.

රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයින් පිටව ගිය පසු ප්‍රදේශයේ පුද්ගලයින් එම පරිශ්‍රය කොල්ලකෑමට පටන්ගත් බව ද රැඳවියෝ පවසති.

ජලය හා විදුලිය කපා හරින බවට රැඳවියන්ට කළ දැනුම්දීමක්

ඡායාරූප මූලාශ්‍රය, ABDUL AZIZ ADAM

ඡායාරූප ශීර්ෂ වැකිය, ජලය හා විදුලිය කපා හරින බවට රැඳවියන්ට කළ දැනුම්දීමක්

වගකීම කා අතේ ද ?

සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බිය පළකරන 600 ක් පමණ වූ සරණාගතයින් මෙන්ම දේශපාලන රැකවරණ පතන්නෝ මැනස් දූපතේ තාවකාලික නවාතැන්පොළ වෙත යාම ප්‍රතික්ෂේප කළහ. මීට පෙරදී වූවාක් මෙන්, මෙම කණ්ඩායම ප්‍රදේශයේ පුද්ගලයින් එල්ලකරන "නිරීක්ෂණය නොවන ප්‍රචණ්ඩත්වයට" ලක්විය හැකි බවට පසුගිය සතියේදී හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු ඇඟවීය.

අදාළ පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට මාරු කිරීම එරට ආණ්ඩුව විසින් නිරන්තරයෙන් බැහැර කරනු ලබන්නේ එය මිනිස් ජාවාරමට දිරිදීමක් මෙන්ම මුහුදේදී මිනිසුන් මියයාමට තුඩුදෙන්නක් බවට තර්ක කරමිනි. කෙසේවෙතත්, එම පුද්ගලයින්ට මේ දක්වා දෙනු ලබන සහන සැපයීම ඔස්ට්‍රේලියාව සතු වගකීමක් බව පැපුවා නිව්ගිනි පවසයි. එසේ වුවද, ඔස්ට්‍රේලියාව පවසන්නේ එය පැපුවා නිව්ගිනිහි වගකීමක් බවය.

අඟහරුවාදා (ඔක් 31)

ආරක්ෂාව

සංක්‍රමණිකයින්ට නීති සහය දෙන නීතිඥයකුවන ග්‍රෙග් බාර්න්ස් පවසන්නේ, රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීම තුළින් පැපුවා නිව්ගිනි ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මානව හිමිකම් උල්ලංඝනය වන බවය.

"මේ මිනිස්සු ප්‍රහාරවලට වගේම ශාරීරික හිංසනයට ගොදුරුවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අපේ අරමුණ ඔවුන්ගේ ව්‍යවස්ථාපිත හිමිකම් රැකදීමයි" යනුවෙන් ඔහු බීබීසී සමග පැවසීය.

"ඔවුන්ව දැන් නිකන්ම වීථියේ අතහැර ගියා වගේ. මේ සිදුවන දේ නීති විරෝධියි."

දුපතේ ඇති විකල්ප මධ්‍යස්ථානයකට එම පුද්ගලයින් බලහත්කාරයෙන් යැවීම වළකාලීම සඳහාත් ඔවුන්ව ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් ආරක්ෂාකාරී තුන්වෙනි රටකට යවන ලෙසත් ඉල්ලුම් කර ඇත.

පැපුවා නිව්ගිනි හි ස්ථිරව රැඳීම, කාම්බෝජයේ ජීවත්වීමට ඉල්ලීම හෝ නාවුරු වෙත මාරු කර යවන ලෙස ඉල්ලීමට සරණාගතයින්ට හැකි නමුත් නීතිඥයන් පවසන පරිදි එම විකල්ප වෙත ගොස් තිබෙන්නේ සුළු පිරිසක් පමණි.

විකල්පයක් ලෙස, පැපුවා නිව්ගිනි සහ නාවුරු හි සිටින සරණාගතයින්ගෙන් 1,250ක් දක්වාවූ පිරිසක් පදිංචිය පිළිබද එකඟතාවකට අනුව භාර ගැනීමට අමෙරිකාවටද පුළුවන.

කෙසේවුවත්, එම අයදුම් ක්‍රියාදාමයට කෙතරම් කලක් යාවිද යන්න පිළිබඳව ඇමෙරිකාව තක්සේරුවක් දී නැති අතරම ඔවුන් සියල්ලම භාර ගැනීමටද බැදී නැත.

පසුගිය ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම පැවසුවේ මධ්‍යස්ථාන දෙකේම සිටින රැඳවියන් 1,700 දෙනාටම සරණාගත තත්ත්වය පිරිනමා ඇති හෝ ඒ සම්බන්ධ තීරණය අපේක්ෂාවෙන් සිටින බවය. තවත් 400 දෙනෙකුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇත.

2001 වසරේ වසාදැමීමට පෙර මුලින්ම මැනුස් දුපතේ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියාව විසින් අරඹනු ලැබුවේ 2001 වසරේදීය. එය යළි 2012 දී විවෘත කෙරිණි.

2013 සිට දේශපාලන රැකවරණ පතන්නන් 6 දෙනෙකු එහිදී මියගොස් ඇති අතර එම පිරිස අතරට කෝලාහලයක දී මියගිය රෙසා බරාටි නම්වූ ඉරාන ජාතිකයාද අයත්විය.