ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගල්කිස්සේ සිද්ධිය: අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට
ගල්කිස්සේ නවාතැන් ලද රෝහින්ග්‍යා සරණාගතයන්ට එරෙහිව දියත් වූ විරෝධතාවට නායකත්වය දුන් බවට චෝදනා එල්ලවන අක්මීමන දයාරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සිහල රාවය සංවිධානයේ නායක අක්මීමන දයාරතන හිමියන් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා සිටි අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඔක්තෝම්බර් 09 වැනිදා දක්වා උන් වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ රැකවරණය යටතේ ගල්කිස්සේ නිවසක නවාතැන් ලද මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලත් තවත් හත් දෙනෙකු ඊයේ (ඔක්තෝම්බර් 01) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබන ලදී.
"නීති විරෝධී මියන්මාර ත්‍රස්තවාදීන් පිරිසක්" රැඳී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස පසුගිය අඟහරුවාදා (සැප් 26) එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මෙම විරෝධතාව මධ්‍යයේ මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස ගල්කිස්ස පොලිසිය භාරයට ගැනිණි.
මේ වනවිට සරණාගතයන් පිරිසට පොලිස් රැකවරණ යටතේ ආරක්ෂිත රැඳවුම් ස්ථානයක නවාතැන් ලබා දී තිබේ.
මියන්මාරයෙන් පළා යමින් සිටි රෝහින්ග්‍යා සරණාගතයන් තිස් දෙනෙකු කන්කසන්තුරේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ බෝට්ටුවක සිටියදී නාවික හමුදාව විසින් බේරා ගනු ලැබුණේ පසුගිය අප්‍රේල් 30වැනිදා ය.
ඔවුන් ගල්කිස්සේ නිවසට ගෙන ඒමට පෙර පොලිස් රැඳවුම් ස්ථානයක සිටියදී රෝහින්ග්‍යා තරුණියක දූෂණය කළ බවට පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල විය. එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබිණි.