ඇමෙරිකාව උතුරු කොරියාවත් සමඟ රහස් සාකච්ඡාවක

ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවත් සමඟ ඍජු සම්බන්ධතා පවත්වා ගෙන යමින් ඇතැයි රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson) පවසයි.'

'ප්යෝන්ග්යෑන්' පාලනය සාකච්ඡා සඳහා ඇද ගැනීමට සහ 'ඇහුන්කන් දීම සඳහා' යොමුකර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව වොෂින්ටනය මගක් සොයමින් සිටින බව රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම අදහස් පළ කළේ චීනයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරයි.

"අපට 'ප්යෝන්ග්යෑන්' පාලනයත් සමඟ සන්නිවේදන සබඳතා තිබෙනවා. අපි සිටින්නේ අඳුරු පරිසරයක නොවෙයි" ඔහු සඳහන් කළේය.

පසුගිය මාස කීපය පුරාම එක්සත් ජනපදය සහ උතුරු කොරියාව වාග් සංග්‍රාමයක පැටලී සිටියදී ඔවුන් දෙපාර්ශ්වය අතර සන්නිවේදන සබඳතා පැවත්ම ලෝකයට රහසක් විය.

'ප්යෝන්ග්යෑන්' පාලනය විනාශ කරන බවට තර්ජනය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හඳුන්වා දෙන ලද්දේ "සිය දිවි නසා ගැනීමේ ගමනක යෙදී සිටින රොකට් කාරයකු" හැටියටයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තර්ජනයට කිම් ජොන් අන් විසින් පිළිතුරු දෙන ලද්දේ "ගින්දර සමඟ සෙල්ලම් කරන වියරු මහල්ලා හීලෑ කර ගනු!" යයි කියා සිටිමිනි.

එම වාග් සංග්‍රාමය ආරම්භ වුණේ උතුරු කොරියාව විසින් කලක පටන් දිගින් දිගටම සිදු කරනු ලබන මිසයිල අත්හදා බැලීම් සමඟයි.

අන්තර් මහාද්වීපික මට්ටමින් දිගදුර ප්‍රහාර සඳහා උපයෝගී කරගත හැකි 'හයිඩ්‍රජන්' බෝම්බයක් සාර්ථකව අත්හදා බලන ලද බව උතුරු කොරියාව පසුගිය සැප්තැම්බර් තුන් වෙනිදා ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ එම වාග් සංග්‍රාමය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය තෙක් විහිද ගියේය.

රාජ්‍ය ලේකම් ටිලර්සන් සිය චීන සංචාරයේ දී ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ඇතුළු චීන පාලනයේ ඉහළ නිලධාරීන් සමඟ සිදු කරන සාකච්ඡාවන්හිදී උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ක්‍රියාවට නංවන මෙන් ඔවුන් දිරි ගැන්වීමට බලාපොරොත්තු වෙයි.

සිය භූමියේ ක්‍රියාත්මක කෙරෙන උතුරු කොරියානු ව්‍යාපාරික ආයතන අක්‍රිය කරන බව චීනය දැනටමත් සඳහන් කර ඇත.

කෙසේ වුවද, උතුරු කොරියාව සමඟ 'සාකච්ඡා මාවතට ප්‍රවේශ විය යුතුය' යන්න චීනයේ ස්ථාවරයයි.

එහෙත් "කතා කිරීමෙන් ලැබෙන පිළිතුරක් නැතැයි " ජනාධිපති ට්‍රම්ප් පසුගිය මාසයේ කියා තිබුණි.

එහෙත් වොෂින්ටනය සහ 'ප්යෝන්ග්යෑන්' පාලනය අතර රහස්‍ය සන්නිවේදන සම්බන්ධතා පහසුකම් ඇති බවට මේ වනවිට වාර්තා ලැබී ඇත.

Associated Press මාධ්‍ය ආයතනය වාර්තා කරන පරිදි "දෙපාර්ශ්වය මාස කීපයක්ම ප්‍රසිද්ධියකින් තොරව අදහස් හුවමාරු කර ගෙන" ඇත.

"උතුරු කොරියාව භාර ඇමෙරිකානු නියෝජිතයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටින උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියෙක් නිරන්තරයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ඇතැයි" Associated Press මාධ්‍ය ආයතනය පවසයි.

එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර සන්නිවේදන සබඳතා පවතින බවට රෙක්ස් ටිලර්සන් මින් පෙරත් ඉඟි කර ඇතැයි Associated Press සඳහන් කරයි.

වොෂින්ටනය වෙනුවෙන් උතුරු කොරියාව සමඟ සාකච්ඡා කිරීමේ භූමිකාව ඉටු කරනු ලබන්නේ ස්වීඩනය විසින් බවත් ඉතා ප්‍රසිද්ධ කරුණකි.

වොෂින්ටනය මෙන්ම ප්යෝන්ග්යෑන් පාලනයත් තමන් කෙරෙහි විශ්වාසය තබන හෙයින් ස්වීඩනයට යළි තවත් ඉදිරි පියවරක් තැබිය හැකිබව 'ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ස්වීඩන් අධ්‍යයනායතනයේ උල්ෆ් හැන්සන් (Ulv Hanssen) පසුගිය අගෝස්තු මාසයේ සඳහන් කර තිබුණි.

"ස්වීඩනය මෙයින් පෙරත් බොහෝ අවස්ථාවල එවැනි මැදිහත්වීම් සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු කොරියාවේ දී ඇමෙරිකානුවන් සිරගත කරපු අවස්ථාවල" උල්ෆ් හැන්සන් (Ulv Hanssen) පවසයි.

එහෙත් ස්වීඩන් විදේශ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් අදහසක් පළ කරනු ලැබීම ප්‍රතික්ෂේප කළේය.

සබැඳි පුවත්;