ශබ්ද ප්‍රහාරයක්; ඇමෙරිකාව කියුබානු තානාපති කාර්ය මණ්ඩලය ඉවත්කර ගනී

හවානා අගනුවර පිහිටි සිය තානාපති කාර්යාලයේ නිලධාරීන් 'ශබ්ද ප්‍රහාර' (sonic attacks) මගින් පීඩාවට පත් වීමෙන් අනතුරුව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනපද බලධාරීන් පියවර ගත් බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

'ශබ්ද ප්‍රහාර' (sonic attacks) සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් 60%ක් පමණ ඉවත් කර ගන්නා බව නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියාසිටි බව එම නිලධාරියා උපුටා දක්වන මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

ශබ්ද ප්‍රහාරයක් (sonic attacks) යනු යම් ප්‍රදේශයක් හෝ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අති ධ්වනි ශබ්ද තරංග (ultrasound)මුදා හරිනු ලැබීමයි.

'ශබ්ද ප්‍රහාර' (sonic attacks) වලට ගොදුරු වූ පුද්ගලයකු මස්තිෂ්කයේ ඇතිවෙන බරපතළ නොවන කම්පන ,කණ ඇසීම පිළිබඳ ගැටළු ,කරකැවිල්ල සහ වමනය වැනි ආබාධ රාශියකට ගොදුරු වීමට ඉඩකඩ ඇත.

ව්‍යාධීන්ට ගොදුරු වීම හැරුන විට පුද්ගල මරණයකට පවා එවැනි ශබ්ද ප්‍රහාරයක් හේතුවිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානු මූලාශ්‍ර මගින් ප්‍රකාශ වෙන ආකාරයට හෝටල් වැනි ස්ථාන වලත් එවැනි ප්‍රහාර වාර්තා වී ඇති හෙයින් කියුබාවේ සංචාරය කිරීමෙන් වළකින මෙන් බලධාරීන් සිය ජනතාවට දැනුම් දී ඇත.

කියුබාවේ දී 'ශබ්ද ප්‍රහාර' (sonic attacks) වලට ගොදුරු වූ ඇමෙරිකානු තානාපති නිලධාරීන් විසි දෙනකු පමණ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටිති.

එහෙත් එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කියුබාවේ බලධාරීහු පවසති.

හවානා නගරයේ පිහිටි සිය තානාපති කාර්යාලය වසා දැමිය යුතුද? නැද්ද? යන්න දිගටම සැලකිල්ලට ගනිමින් පවතින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson ) පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණි.

කැනඩා ජාතිකයන් දෙදෙනකුත් එවැනි ආබාධවලට ගොදුරු වී ඇතිබව වාර්තා වෙයි.

'අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය හැර සෙසු නිලධාරීන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද කැටුව හවානා නගරයෙන් පිටවිය යුතු යයි එක්සත් ජනපද බලධාරීන් උපදෙස් දී ඇතැයි නිලධාරීන් උපුටා දක්වන Associated Press මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

එවැනි ප්‍රහාර පිටුපස කියුබානු ආණ්ඩුව නොමැති බවට ජනාධිපති රාවුල් කස්ත්‍රෝ හවානා නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර ප්‍රධානියාට කලින් පෞද්ගලික සහතික වීමක් සිදු කර තිබුණ බවක් ද වාර්තා වෙයි.

දශක ගණනාවක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවති කියුබාව සහ එක්සත් ජනපදය අතර තානාපති සබඳතා ඇතිකර ගන්නා ලද්දේ බරක් ඔබාමා පාලන සමය තුළයි.

පසුගිය ජුනි මාසයේ ප්‍රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපති ඔබාමාගේ කියුබානු පිළිවෙතට පහර දුන් නමුත් හවානා නගරයේ සිය තානාපති කාර්යාලය වසා නොදමන බව කියා සිටියේය.