නියැන්ඩතාල් මානවයා සහ නූතන මානවයා ගැන අලුත් සොයාගැනීමක්

The remains were discovered inside the El Sidrón cave in Asturias, Spain

ඡායාරූප මූලාශ්‍රය, PALEOANTHROPOLOGY GROUP MNCN-CSIC

ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය වර්ධනය වූයේ නූතන මානවයාගේ මොළයටත් වඩා අඩු වේගයකින් බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

උදාහරණයක් ලෙස නූතන දරුවන්ගේ මොළය සම්පූර්ණයෙන්ම වර්ධනය වූ අවස්ථාව වන විටත් නියැන්ඩතාල් මානව දරුවන්ගේ මොළය තවදුරටත් වර්ධනය වෙමින් පැවති බව නියැන්ඩතාල් දරුවෙකුගේ ඇට සැකිල්ලක් විශ්ලේෂණය කළ විශේෂඥයන්ගේ නිගමනය වී තිබේ.

එම නව සොයා ගැනීම නිවේදනය කෙරුණේ එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර සිට ප්‍රකාශයට පත් කෙරෙන 'සයන්ස්' (Science) සඟරාවේ පළ කෙරුණු ලිපියකිනි.

ඒ අනුව මිහිතලයෙන් අතුරුදහන් වූ නියැන්ඩතාල් මානවයා, නූතන මිනිසාට වඩා සාහසික හෝ ප්‍රාථමික නොවූ බවට සිය පර්යේෂණය මගින් සනාථ කෙරෙන බව ද පර්යේෂකයෝ පවසති.

මොළය ඉතා සෙමින් වර්ධනය වූ එකම මානව විශේෂය නූතන මිනිසා බව මෙතෙක් විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබිණ. වෙනත් වානරයන් සහ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් මෙන් නොව, හෝමෝ සාපියන් මානවයාගේ ළමා කාලය වසර ගණනක් දක්වා දිගු විය.

The skeleton of a boy that shattered our view of Neanderthal brain development

ඡායාරූප මූලාශ්‍රය, JOAN COSTA

නූතන මානවයාගේ විශාල මොළය වර්ධනය වීම සඳහා දිගු කලක් සහ විශාල ශක්තියක් අවශ්‍ය වීම එයට හේතුවය.

නියැන්ඩතාල් මානවයාගේ ඇට සැකිලි යොදාගෙන මීට ඉහතදී කරන ලද පර්යේෂණවල නිගමනය වී තිබුණේ නියැන්ඩතාල් මානවයා නූතන මානවයාට වඩා ඉක්මනින් වර්ධනය වූ බවය. නියැන්ඩතාල් මානවයාගේ මොළය නූතන මිනිසාගේ මොළය තරම් සංකීර්ණ නොවූ බවක් එයින් ඉඟි කෙරිණ.

එහෙත් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ (Museum of Natural Sciences) මහාචාර්ය අන්තෝනියෝ රෝසස් (Antonio Rosas) ගේ ප්‍රධානත්වයෙන් මේ අලුත්ම පර්යේෂණය පැවැත්වූ කණ්ඩායමේ නිගමනය වී තිබෙන්නේ නියැන්ඩතාල් මානවයාගේ මොළය නූතන මිනිසාගේ මොළයටත් වඩා හෙමින් වර්ධනය වීමට ඉඩ තිබුණු බවය.

"අපි ඇත්තටම පුදුම වුනා," මහාචාර්ය රෝසස් බීබීසී යට පැවසීය. "පර්යේෂණය ආරම්භ කරන කොට අපි බලාපොරොත්තු වුනේ පසුගිය පර්යේෂණවලින් ලැබුණු ප්‍රතිඵලවලට සමාන දෙයක්."

නියැන්ඩතාල් මානව දරුවෙකුගේ වර්ධනයේ ඉතා වැදගත්ම අවධියක සම්පූර්ණ ඇට සැකිල්ලක් යොදාගෙන සිය පර්යේෂණය පැවැත්වූ බැවින් ඒ සම්බන්ධයෙන් මීට ඉහතදී කළ පර්යේෂණවලට වඩා සිය පර්යේෂණය නිවැරදි බව මහාචාර්ය රෝසස් ඇතුළු කණ්ඩායම විශ්වාස කරති.

එය වයස අවුරුදු හයයි මාස හයකදී මියගිය පිරිමි දරුවෙකුගේ ඇට සැකිල්ලකි. වසර 49,000 ක් පැරණි ස්පාඤ්ඤයේ El Sidrón ගුහාවේ දී එම ඇට සැකිල්ල හමු වී තිබේ.

The researchers were surprised to discover that Neanderthal brains develop more slowly

ඡායාරූප මූලාශ්‍රය, JOAN COSTA

විශ්වාස කළ නොහැකි තරම් හොඳින් ආරක්ෂා වී තිබුණු එම දරුවාගේ ඇට සැකිල්ලේ වැඩුණු සහ කිරි දත් ද තිබිණ. එබැවින් මිය ගිය දරුවාගේ වයස නිවැරදිව ගණනය කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබිණ.

ඔහුගේ මොළය, වැඩුණු නියැන්ඩතාල් මානවයෙකුගේ සාමාන්‍ය මොළයේ ප්‍රමාණය මෙන් 87.5% ක් පමණ වන බව තක්සේරු කෙරිණ. එම වයසේ පසුවන නූතන මිනිස් දරුවෙකුගේ මොළය වැඩුණු මිනිසෙකුගේ මොළය මෙන් 95% ක් දක්වා වර්ධනය වී තිබිය හැකිය.

සිය නව සොයාගැනීම පිළිබඳව කරුණු පැහැදිලි කරන මහාචාර්ය රෝසස් පවසන්නේ, නියැන්ඩතාල් මානවයා සහ නූතන මානවයා අතර බරපතල වෙනසක් නැතැයි පවතින මතය එමගින් සනාථ කෙරෙන බවය.

නූතන මිනිසා ඉතාමත්ම සෙමින් වර්ධනය වන සත්ව කොට්ඨාසය බව මෙම සොයා ගැනීමට පෙර විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබිණ.